කාර් ගිල්ස් බැංකුව CSE හි ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත කිරීම අද
කොළඹ කොටස් හුවමාරුව තුළ සිය මූලික මහජන කොටස් නිකුතුවක් සිදුකළ කාර්ගිල්ස් බැංකුවෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ලැයිස්තුගත කිරීම අද (09දා) සිදුවන බව පවසයි.
මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවෙහි විවිධාංගීකරණය වූ බැංකු කාණ්ඩය යටතේ මෙම ලැයිස්තුගත කිරීම සිදු කෙරේ.
ඒ අනුව CBNK-N-0000 යන කේතයෙන් මෙම ලැයිස්තුගතවිම සිදු වෙයි.
මෙහිදී කොටස් 945,642,858ක් ලැයිස්තුගත කිරීම සිදු කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
කාර්ගිල්ස් බැංකුවෙහි මූලික මහජන කොටස් නිකුතුව පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා සිදු වුණු අතර, එහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 62,500,000ක් නිකුත් කෙරිණි. මෙහිදී කොටසක් රුපියල් 8 බැගින් මිල නියම කෙරී තිබුණි.
එම මූලික මහජන කොටස් නිකුතුව ආරම්භ කර ටික වේලාවකින් ඊට අධිඉල්ලුමක් හිමි වූ බවත් කාර්ගිල්ස් බැංකුව සඳහන් කළේය.
කාර්ගිල්ස් බැංකුව මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවකි. 1844 වසරේදී ස්ථාපිත කෙරුණු මෙරට පැරණිතම සමාගම් සමූහයක් වන කාර්ගිල්ස් සිලෝන් පීඑඑල්සීහි පරිපාලිත සමාගමක් ලෙස කාර්ගිල්ස් බැංකුව මෙහෙයුම් සිදු කරයි.
එහි විශාලතම කොටස් හිමිකරුවන් වන්නේ කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සහ CT Holdings PLC (සිලෝන් තියටර්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී) යන සමාගම්ය. මෙම සමාගම් දෙකම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් වෙයි.
වර්තමානයේදී කාර්ගිල්ස් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ රිචර්ඩ් ඉබෙල් (සභාපති/විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ), සෙනරත් බණ්ඩාර (කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක) මාරිආනා පේජ් (ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ), යුධීෂ්ත්‍රන් කනගසබෙයි (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), බුවනෙක පෙරේරා (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), අසෝක පීරිස් ((ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ), රවී ජයවර්ධන (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), ශාන්ති ඥානප්‍රාගාසම් (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), අර්ජුන හේරත් (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ය.