SLIIT හි ‘Brain Busters with SLIIT – Season 3’ තරගය සාර්ථකව නිමාවට පත්වේ

SLIIT විසින් පවත්වනු ලැබූ ‘Brain Busters with SLIIT – Season 3’ රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ අවසන් මහා තරගය පසුගියදා සාර්ථකව පැවැත්වූ බව එහි සංවිධායකයෝ පවසති.

මෙම ‘Brain Busters with SLIIT Season 3’ අවසන් මහ තරගයේ ජයග්‍රාහී කිරුළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඩබ්.එච්. මන්දරා ඉඳුසරණි සහ බී.ඩබ්. ශවිඳු ආකාෂ් විසින් හිමිකර ගනු ලැබිණි.

එසේම අවසන් මහ තරඟයේ පළමු අනුශූරතාවය කොළඹ 07, රාජකීය විද්‍යාලයේ ජී.සතිඳු එම්.කුරුගල සහ හිවිරු හංසක සේනානායක යන සිසුන් විසින් දිනාගනු ලැබූ අතර දෙවැනි අනුශූරතාව නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අකිත්මි සේනාරත්න සහ කුලනි කරුණාරත්න යන සිසුවියන් විසින් දිනා ගනු ලැබුවාය.

SLIIT හි සභාපති හා කුලපති මහාචාර්ය ලක්ෂමන් රත්නායක, උපකුලපති හා ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ, පර්යේෂණ හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර උපකුලපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ, ශිෂ්‍ය සේවා කටයුතු හා සම්බන්ධීකරන ප්‍රධාන නිලධාරී උදිත ගමගේ, පර්යේෂණ ව්‍යවසාය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂිකා අසංගි ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු SLIIT ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙම අවස්ථාවට සහභාගී වූ අතර පාසල් නියෝජනය කරමින් පැමිණ සිටි ජයග්‍රාහකයින් සඳහා ඔවුන් සම්මාන ප්‍රදානය කරන ලදී.

මෙම තරඟයෙන් ජය ලැබූ ජයග්‍රාහකයින් පැසසුමට ලක් කරමින් මහාචාර්ය ලලිත් ගමගේ මහතා. ”TV1 නාලිකාව සමඟ එක්ව SLIIT විසින් සංවිධානය කළ ‘Brain Busters with SLIIT Season 3’ ජාතික මට්ටමේ තරඟාවලියේ ජයග්‍රාහකයින් සියලු දෙනා වෙනුවෙන් මාගේ හදපිරි සුබ පැතුම් එක් කර සිටිනවා. මෙම තරඟය ඉතාමත් සාර්ථකව පවත්වමින් ඒ සඳහා සහභාගී වී වෙහෙස වී වැඩ කළ සියලුම දෙනාගේ කැපවීම මා අගය කොට සළකනවා. ‘Brain Busters with SLIIT’ වැනි තරඟ අවස්ථාවන් තුළින් අපගේ දැක්ම සාර්ථකව ඉටු කර ගැනීමට හැකි බව මා දැඩිව විශ්වාස කරනවා. විචාරාත්මකව සිතීමට, ගැටළු විසඳීමට සහ පරිකල්පන බුද්ධිය වර්ධනය කිරීමට සිසුන්ව දිරිමත් කරමින් හොඳින් කුසලතා ප්‍රගුණ වූ පුද්ගලයින් සහ වගකිවයුතු පුරවැසියන් බිහි කිරීම අපගේ අරමුණුයි. මෙවන්වූ රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා වගේම, ඉදිරියේදී තවත් අලුත් තරඟ සංවිධානය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසීය.

අවසන් මහා තරගයේ විනිසුරු මඩුල්ල, උදිත ගමගේ, අසංගි ජයසිංහ සහ SLIIT ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ශිරෝමි කරුණාරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විය. ජයග්‍රාහණ හිමි කරගත් පාසල් සඳහා රුපියල් 200,000, 100,000 සහ රුපියල් 50,000 ආදී වටිනාකමින් යුත් ආකර්ෂණීය මුදල් ත්‍යාග හිමි විය. අවසන් තරඟකරුවන් සියලු දෙනා වෙත ජයග්‍රාහී තරඟ වට සඳහා ආකර්ෂණීය කුසලාන සහ සහතිකපත් මෙන්ම මුදල් ත්‍යාග ද ප්‍රධානය කෙරිණි.

Visits: 33