ටෝකියෝ සිමෙන්ති වෙතින් ඡන්දහිමි සහ නිෂ්ඡන්ද කොටස් සඳහා රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගම සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම මෙන්ම නිෂ්ඡන්ද කොටසක් සඳහාමත් රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම මෙහිදී සඳහන් කර තිබේ.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කර සිටියි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 04 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙසජූනි 13 වැනිදා නමි කෙරී තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ටෝකියෝ සිමෙන්ට් (ලංකා) පීඑල්සී සමාගම පවසයි.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වූ ජූනි 02 වැනිදා දිනය නිමා වනවිට ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගමේ ඡන්ද හිමි (TKYO.N0000)කොටසක වටිනාකම රුපියල් 43.30ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 43.20ට සාපේක්ෂව ශත 10ක එනම් 0.23%ක ඉහළ යාමකි.

එසේම සමාගමේ නිෂ්ඡන්ද (TKYO.X0000)කොටසක වටිනාකම රුපියල් 39.90ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 38.00ට සාපේක්ෂව රුපියල් 1.90ක එනම් 5.00%ක ඉහළ යාමකි.

Visits: 73