අයෝධ්‍යා ඉද්දවෙල සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට

සම්පත් බැංකුවෙහි මීළඟ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය 2023 ජූලි මස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ භාර ගැනීමට නියමිතව ඇතැයි එම බැංකුව පවසයි.

එම ධූරයේ දැනට කටයුතු කරමින් සිටින කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම පුරප්පාඩු වන ධුරය වෙනුවෙන් ඇයව පත්කරනු ලැබේ.

බැංකුවේ සුභසිද්ධිය වෙනුවෙන් මහත් කැපවීමෙන් යුතුව අතිවිශිෂ්ට සේවයක් සිදුකර ඇති නන්ද ප්‍රනාන්දු මහතාගේ ධූර කාලය 2023 ජුනි මස 30 වෙනිදායින් අවසන් වනු ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකට හිමිකම් කියන අයෝධ්‍යා මහත්මිය, දශක තුනකට අධික කාලයක් පුරාවට සම්පත් බැංකුව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකරමින් සාර්ථක වෘත්තීය ගමනකට උරුමකම් කියයි.

මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ ප්‍රවීන වෘත්තීයවේදිනියක් ලෙස කීර්තිමත් නාමයක් අත්කරගෙන ඇති ඇයට ආයතනික බැංකුකරණය, ජාත්‍යන්තර බැංකුකරණය සහ ණය පාලනය පිළිබඳව විශේෂඥ දැනුම් සම්භාරයක් ඇත.

ඇයගේ සුවිශේෂී ගමන් මග තුළ, සිය විශේෂඥතාව ඔස්සේ බැංකු ක්ෂේත්‍රය වෙත ලබා දී ඇති දායකත්වය වෙනුවෙන් පසුගිය වසර ගණනාව පුරාවට අයෝධ්‍යා මහත්මිය ඇගැයුමට ලක්ව ඇති අතර, 2023 වසරේ දී ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් කීර්තිමත් “ජ්‍යෙෂ්ඨ සාමාජිකාව” (Senior Fellow) යන නාමයෙන් ද ඇය පිදුම් ලැබීය.

උසස් සාරධර්ම මත පදනම් වූ නායකත්ව ශෛලියත්, කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමේ දී ජනනය කළ හැකි ශක්තිය පිළිබඳව ඇයගේ දැඩි විශ්වාසයත් නිසා කීර්තියට පත් අයෝධ්‍යා මහත්මිය, සම්පත් බැංකුව තුළ සැමට සහයෝගයෙන් සහ වඩාත් ඵලදායී ලෙස සේවය කිරීමට අවැසි පරිසරයක් ගොඩනඟා ඇති අතර, එය ආයතනයේ ශක්තිමත් වූ ඉදිරි ගමන සනිටුහන් කර ඇතැයිද බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කිරීම කෙරෙහි ඇති අවධානය මෙන්ම, ජාතික ආර්ථිකයට දායක වීමේ දැක්මකින් මෙහෙයවන ඇය, සම්පත් බැංකුවේ ඇයගේ නව භූමිකාව තුළ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.

Views: 106