Sinopec Fuel Oil Lanka (Private) Limited දින 45ක් තුළ මෙරට මෙහෙයුම් ඇරඹීමට එකඟතාවකට

ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එම සමාගම මෙරට තුළ සිය ව්‍යාපාරික මෙහෙයුම් සිදුකිරීම සඳහා Sinopec Fuel Oil Lanka (Private) Limited නමින් සමාගමක් ස්ථාපිත කර තිබේ. එය F5 හම්බන්තොට මැරිටයිම් සෙන්ටර්, මිරිජ්ජවිල, හම්බන්තොට යන ලිපිනයෙහි ලියාපදිංචි සමාගමකි.

මෙහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන සහ අළෙවි දෙපාර්තමේන්තුවේ කළමණාකාර අධ්‍යක්ෂ චෙන් චෙන්ග්මිම් Chen Chengmim යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙලෙස ව්‍යාපාරික මෙහෙයුම් සඳහා අදාළ බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කළ යුතුබව අදාළ ගිවිසුමේ ඇතුළත්ව තිබේ.

ඒ අනුව මෙරට වෙත ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අළෙවිය සිදු කිරීම Sinopec Fuel Oil Lanka (Private) Limited සමාගමට පැවරී තිබේ. දැනටමත් එම සමාගම හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉන්ධන ගොඩබෑමේ පරිශ්‍රයක් සහ ගබඩාවක් පවත්වාගෙන යයි.

මෙම ක්‍රියාවලිය තුළින් වඩාත් ස්ථාවර සහ විශ්වාසනීය ඉන්ධන සැපයුමක් සහතික කෙරෙන අතර රටේ බලශක්ති ක්ෂේත්‍රය නංවාලීමට ද එය දායක වනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත්නොවන ආකාරයට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම පියවරට එළැඹිණි.

පසුගිය සමයේ ඉන්ධන නැව්ගත කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) විශාල අභියෝගයකට මුහුණ දෙනු ලැබීය. මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශය විවිධ උපාය මාර්ග සොයා බැලූ අතර ඊට පිළියමක් ලෙස ඉන්ධන නිෂ්පාදනය කරන රටවල පිහිටුවා ඇති පිළිගත් ඛනිජ තෙල් සමාගම්වලින් ශ්‍රිලංකාවට ඉන්ධන සැපයුම පිළිබඳ විමසන ලදී.

එහි අරමුණ වූයේ මෙරට තුළ ක්‍රියාත්මක බෙදාහැරීමේ අළෙවි නියෝජිත ජාලයන් තුළින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අළෙවිය සිදු කිරීමයි. ඒ අනුව මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව (CASC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) විසින් එම යෝජනා මනා ලෙස පරීක්ෂා කර, සාකච්ඡාවලට යටත්ව පහත සඳහන් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම නිර්දේශ කරන ලදී.

F5 හම්බන්තොට මැරිටයිම් සෙන්ටර්, මිරිජ්ජවිල, හම්බන්තොට පිහිටි Sinopec Fuel Oil Lanka (Private) Limited, සමාගමට අමතරව, ග්ලෙන්ෆෙරි පාර, හෝතෝන්, වික්ටෝරියා 3122, ඕස්ටේලියාව ලිපිනයේ පිහිටි United Petroleum Pty Ltd, 600 සමාගමට සහ 1061 N. මේන් ස්ට්‍රිට්, පෝටර්විල්, කැලිෆෝනියා 93257, ඇමරිකාව ලිපිනයේ පිහිටි Shell PLC සහ RM Parks හවුල්කාර සමාගම මෙලෙස අනුමැතිය හිමිව ඇති සමාගම් වෙයි.

එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් ආරම්භක වසරක මෙහෙයුම් කාලය තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා තමන්ගේම අරමුදල් යොදා ගත යුතුය. මේ සඳහා ඔවුන්ගේ එකඟතාව ලැබීමෙන් පසු කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම්වලට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, චීන තානාපති කිව් ෂෙන්හෝං (Qi Zhenhong) යන මහත්වරු සහ සිනොපෙක් සමාගමේ සභාපති Yu Baocai, ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Fan Liping යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Visits: 92