P&S 200 වන අලෙවිසැලත් සමග මෙරට විශාලතම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත් වෙයි

Perera and Sons Bakers (Private) Limited (P&S) පසුගිය දා සිය 200 වැනි අලෙවිසැල නුවරඑළිය ප්‍රදේශයේ දී විවෘත කිරීමට කටයුතු කළ බව පවසයි.

මෙම අවස්ථාව සඳහා එම සමාගමේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් සහභාගි වී තිබේ.

ඒ අනුව P&S සමාගම, අලෙවිසැල් 200 ක් දක්වා සිය ජාලය පුළුල් කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එක ම ක්ෂණික සේවා අවන්හල් ජාලය යන ජයග්‍රාහී විරුදාවලිය සිය නාමය ඉදිරියේ සනිටුහන් කිරීමට සමත් ව තිබේ.

දශක 12කට අධික කාලයක් පුරා ගුණාත්මක බවින් ඉහළ සේවාවක් සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින්, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මෙන් ම පුළුල් ම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත්ව තිබේ.

මෙලෙස වසර 120ක ඉතිහාසයකට උරුමකම් කියන P&S සමාගම 1902 වසරේ දී ආරම්භ කරන ලද අතර, එතැන් සිට එය ශ්‍රී ලංකාවේ ජනතාවට වඩාත් සමීප සන්නාමයක් බවට පත් විය.

Perera and Sons Bakers (Private) Limited සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ගිහාන් පෙරේරා මහතා අදහස් පළ කරමින්, “අපගේ සන්නාම ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන, 200 වැනි අලෙවිසැල විවෘත කිරීම පිළිබඳව සිහිපත් කරන්නේ ඉමහත් සතුටකින්. මෙම නව අලෙවිසැල මගින් අපගේ ශාඛා ජාලය පුළුල් වීම වගේ ම, නුවරඑළිය ප්‍රදේශයේ ජනතාවට අපගේ උසස් තත්ත්වයන් යුතු රසවත් නිෂ්පාදන පිරිනැමීමට ලැබීම ගැනත් අපි සතුටට පත් වෙනවා. මෙම නව අලෙවිසැල හරහා නුවරඑළියේ වගේ ම ඒ අවට පාරිභෝගික ජනතාව වෙත සේවා ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ප්‍රකාශ කරයි.

මධ්‍යම, දකුණ, උතුරු මැද, වයඹ, සබරගමුව, ඌව සහ බස්නාහිර ආදී වශයෙන් දිවයිනේ පළාත් නවයෙන් හතක් ආවරණය කරමින් සිය සේවා ලබා දීමට සමත් වී ඇති P&S සමාගම නුවරඑළියේ දී විවෘත කළ මෙම නව අලෙවිසැල හරහා අභියෝග ජයගනිමින් සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමට තමා සතු හැකියාව පිළිඹිබු කරයි.

එසේම එමගින් නව රැකියා අවස්ථා නිර්මාණය කරමින් දේශීය ආර්ථිකයට ද සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි.

Visits: 73