ධම්මික පෙරේරාගේ සහෝදර හරින්ද්‍ර පෙරේරා The Fortress Resorts PLC සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත The Fortress Resorts PLC (RHTL.N0000) හි නව සභාපතිවරයා ලෙස කළුකපුගේ දොන් හරින්ද්‍ර පෙරේරා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.

පසුගිය මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. එම අවස්ථාව වනවිටත් ඒ මහතා සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරමින් සිට ඇත.

කෙසේ වෙතත් මෙම පත් කිරීම සිදු කරන අවස්ථාව වන විට ඒ මහතා සතුව The Fortress Resorts PLC සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සඳහන් වෙයි.

හරින්ද්‍ර පෙරේරා මහතා මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ වැඩිමහල් සහෝදරයාද වෙයි.

හෝටල් ව්‍යාපාරයට සම්බන්ධ මෙම The Fortress Resorts PLC හි කොටස් හිමිකාරීත්වයෙන් වැඩිම ප්‍රමාණයක් හිමිව ඇත්තේ මෙරට තවත් සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාට අයත් MJF Holdings Ltd. සමාගමටයි. එය කොටස් 28,616,411ක් එනම් 25.81%ක ප්‍රතිශතයකි.

කෙසේ වෙතත් සමාගමෙහි වැඩිම කොටස් හිමිකාරීත්වය පවතින්නේ ධම්මික පෙරේරා මහතා ඇතුළුව ඔහුගේ වැලිබල් සමූහයටයි. ඒ අනුව සමාගමෙහි දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා වන්නේ වැලිබල් ලෙෂර් (පෞද්) සමාගමයි. එය කොටස් 24,417,932ක් වන අතර 22.02%ක ප්‍රතිශතයකි. එසේම වැලිබල් වන් පීඑල්සී සමාගමට කොටස් 20,618,257ක් හිමි අතර එය 18.59%ක ප්‍රතිශතයකි.

මීට අමතරව ධම්මික පෙරේරා මහතාට කොටස් 10,329,317ක් හිමි අතර එය 9.3%ක ප්‍රතිශතයකි. එසේම ඔහුට අයත් LB Finance PLC සමාගමටත් The Fortress Resorts PLC සමාගමෙහි කොටස් 4,051,100ක එනම් 3.65%ක ප්‍රතිශතයක් හිමිය.

Visits: 189