FitsAir සිය 50,000වන ගුවන් මගී වාරය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත්කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත මගීන් 50,000 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ ඇති බව පවසයි.

විශේෂයෙන්ම ගමනාන්ත 3 ක් පමණක් ක්‍රියාත්මක වෙමින් අත්පත් කර ගත් මෙම සුවිශේෂී සන්ධිස්ථානය ගුවන් සේවයේ අඛණ්ඩ වර්ධනය පිළිබිඹු කරන බව එම සමාගම සඳහන් කරයි.

FitsAir සිය ජාත්‍යන්තර මගී සේවා 2022 ඔක්තෝම්බර් මාසයේදී දියත් කරනු ලැබුවේ පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලෙන් යුත් පහසු සංචාරක විකල්පයන් ලබා දීමේ අරමුණෙනි.

මේ හේතුවෙන් ආරම්භයේ සිටම සිය සේවා සඳහා ඇති ඉල්ලුමේ සැලකිය යුතු වර්ධනය වීමක් ගුවන් සමාගමට අත්විඳිය හැකි විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් FitsAir හි විධායක අධ්‍යක්ෂ අමර් කාසිම් මහතා, “සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට අපි නිරතුරුවම කැපවී සිටිනවා. අපගේ පාරිභෝගිකයින්ගෙන් මෙවැනි ප්‍රතිචාරයක් ලැබීම අපට සතුටක්. මෙම සන්ධිස්ථානය අප කණ්ඩායමේ සියලු දෙනාගේම කැපවීම විදහා දක්වන්නක්. මින් ඉදිරියටත් අපගේ පාරිභෝගිකයින්ට ආරක්ෂිත සහ සුවපහසු ගුවන් ගමන් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති මහතා, “අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමඟ පියාසර කිරීමට තෝරා ගත් පාරිභෝගිකයින්ට මම අපගේ අවංක කෘතඥතාවය පළකර සිටිනවා. මගීන් 50,000 කට සේවය කිරීමට ලැබීම අප ලද මහඟු ගෞරවයක්.” යනුවෙන්ද සඳහන් කරයි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරමින් FitsAir සිය 50,000 වැනි පාරිභෝගිකයාට නොමිලේ ගුවන් ටිකට් පතක් පිරිනැමීමද සිදු කර තිබේ.

තරඟකාරී මිල ගණන් සහ සුවිශේෂී සංචාරක අත්දැකීමක් සියලු පාරිභෝගිකයින්ට ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින්, අඩු වියදමක් සහිත ප්‍රමුඛතම ගුවන් ගමන් සපයන්නා වීම FitsAir හි අපේක්ෂාවයි. ඒ සඳහා අනාගතයේදී අඛණ්ඩ වර්ධනයක් සහ සාර්ථකත්වයක් කරා ගමන් කිරීමට ගුවන් සේවය බලාපොරොත්තු වෙයි.

Visits: 71