සමූපකාර රක්ෂණ සමාගම වෙත පැනවූ තහනම ජූනි 30 දක්වා දිග් කෙරේ

මෙරට ක්‍රියාත්මක ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන සමූපකාර රක්ෂණ සමාගම (Co-Operative Insurance Company PLC) වෙත ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් පැනවූ ව්‍යාපාර මෙහෙයුම් තහනම ලබන ජූනි 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව එම කොමිසම දැනුම් දී තිබේ.

Co-Operative Insurance Company PLC සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සංයුතිය සිය නියාමන රෙගුලාසිවලට අනුකූලට පවත්වාගෙන යාමට අපොහොසත්වීම හේතුවෙන් එම කොමිෂන් සභාව මගින් මෙම තහනම පනවා තිබුණි.

ඒ අනුව 2023 අප්‍රේල් 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගමට සිය සාමාන්‍ය රක්ෂණ  ව්‍යාපාරික කටයුතු සිදු කිරීම අත්හිටුවමින් මෙම තහනම පනවා තිබේ.

එහෙත් ගතවූ කාලසීමාවේදී එම සංයුතිය පවත්වාගෙන යාමට Co-Operative Insurance Company PLC සමාගම තවදුරටත් අපොහොසත්වීම මෙලෙස එම තහනම ජූනි 30 වැනිදා දක්වා බලපැවැත්වීමට හේතුව බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පවසා සිටියි.

ඒ අනුව Co-Operative Insurance Company PLC සමාගම වෙත සිය සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරික කටයුතු අලුතින් පිවිසීමේ හෝ නැවත ප්‍රාණවත් කිරීමේ හෝ හැකියාව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් පනවා ඇති මෙම පියවර යටතේ තවදුරටත් ඇහිරී ඇතැයිද එම සමාගමද සඳහන් කරයි.

කෙසේ වෙතත් සිය රක්ෂණ වන්දි ගෙවීමේ සහ මූල්‍ය දෙපාර්තමේන්තු සම්පූර්ණයෙන්ම මෙහෙයුම් සිදු කරමින් පවතින බවත් එම සමාගම පවසයි.

එසේම මෙම ගැටලුව හැකි ඉක්මණින්ම විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට Co-Operative Insurance Company PLC සමාගමේ කළමනාකාරීත්වය කටයුතු කරන බවට සියලුම පාර්ශ්වකරුවන් වෙත සහතික වන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 376