ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනයට එමිරේට්ස් SLTDA හා අවබෝධතා ගිවිසුමකට

ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් ප‍්‍රකාශ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය (SLTDA) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.

මෙරට සංචාරක මෙන්ම වෙළඳ අංශ වල වර්ධනය උදෙසා නිර්මාණය කර තිබෙන වැඩසටහන් මාලාවක් ආවරණය කරන මෙම ගිවිසුම ශී‍්‍ර ලංකාවට දැනටමත් වසර 37ක් පුරා ලබා දී ඇති එමිරේට්ස් සහයෝගයෙහි කොටසකි.

මෙම ගිවිසුම එමිරේට්ස් ගුවන් සමාගමේ වාණිජ මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති – බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය අහ්මඩ් කූරි මහතා සහ ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂිකා K.P.P. සිරිවර්ධන මහත්මිය විසින් 2023 අරාබි සංචාරක වෙළඳපල (ATM) ප‍්‍රදර්ශනයට සමගාමීව අත්සන් තබනු ලැබීය.

එම අවස්ථාවට ශී‍්‍ර ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා, අරාබි එක්සත් එමිර් රාජ්‍යයේ ශී‍්‍ර ලංකාවේ තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා, සමාගමේ ප‍්‍රධාන වාණිජ නිළධාරී අඞ්නාන් කසීම් මහතා සහ ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළමණාකරු චන්දන ද සිල්වා මහතා සහභාගී වූහ.

2022 වසරේ එමිරේට්ස් ගුවන් සමාගම සහ ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය ඇති කරගත් උපක‍්‍රමශීලී සහයෝගිතාව තර කිරීමක් ලෙස සැළකෙන මෙම නව අවබෝධතා ගිවිසුමෙන් දිවයිනට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව වැඩි කිරීමට දෙපාර්ශවය සිදුකරන අලෙවිකරණ සහ ප‍්‍රවර්ධන ප‍්‍රයත්න ආවරණය වේ.

මේ යටතේ එමිරේට්ස් සමාගම විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳව ජාත්‍යන්තර සංචාරකයින් මෙන්ම ප‍්‍රධාන විදේශීය වෙළඳපලවල එමිරේට්ස් ඒජන්තවරුන් දැනුවත් කිරීමට වැඩසටහන් පවත්වනු ඇත. ඊට අමතරව විවිධ සංචාරක කොටස් ආකර්ශණය කිරීමට හැකිවන විශේෂ පැකේජ නිර්මාණය කිරීමට ද එමිරේට්ස් සමාගම කටයුතු කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සමාගමේ වාණිජ අංශයේ බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපති, අහ්මඞ් කූරි මහතා ප‍්‍රකාශ කළේ එමිරේට්ස් ශී‍්‍ර ලංකාවට ගුවන් ගමන් මීට අවුරුදු 37කට පෙර ආරම්භ කළ බවත්, අදත් ගුවන් සමාගමේ දකුණු ආසියානු ජාලයේ ශී‍්‍ර ලංකාව වැදගත් ගමනාන්තයක් වන බවයි.

”මෙම සහයෝගීතාව ශී‍්‍ර ලංකාවේ සංචාරක සහ වෙළඳ අංශ වල වර්ධනය සඳහා ප‍්‍රමුඛ දායකයෙක් වීමට එමිරේට්ස් හි කැපවීම විදහා දක්වනවා. ශී‍්‍ර ලංකාව ප‍්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ප‍්‍රවර්ධන කිරීමටත් වැඩි වන ඉල්ලුම සඳහා සේවා සැපයීමටත් අපි බලාපොරොත්තු වනවා,” යැයිද කූරි මහතා ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂිකා K.P.P. සිරිවර්ධන මහත්මිය ”ශ‍්‍රී ලංකාව විදේශීය සංචාරකයින්ට විශිෂ්ඨ ගමනාන්තයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය ඉදිරියට ගෙනයාමට හැකිවීම පිළිබඳව අප සතුටු වනවා,” යැයි ප‍්‍රකාශ කළාය. ”අපගේ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනයට එමිරේට්ස් විශේෂ දායකත්වයක් ලබා දී තිබෙනවා. එම සමාගම සමඟ මෙම කර්මාන්තය තවත් වර්ධනය කරමින් දේශීය ආර්ථිකය ගොඩනැංවීමට අපි බලාපොරොත්තු වනවා.”

ශ‍්‍රී ලංකාව ගෝලීය ගමනාන්ත 130කට අධික සංඛ්‍යාවකට සම්බන්ධ කරන එමිරේට්ස් ගුවන් සමාගම මෙරටට ගුවන් ගමන් ආරම්භ කල 1986 වසර සිට කොළඹට සහ පිටතට මගීන් මිලියන 11කට අධික සංඛ්‍යාවක් ප‍්‍රවාහනය කර ඇත.

වර්තමානයේ කොළඹට දිනකට සෘජු ගුවන් ගමන් දෙකක් සහ මාලදිවයින හරහා කොළඹට එක් දෛනික ගුවන් ගමනක් ක‍්‍රියාත්මක කරන එමිරේට්ස් ශ‍්‍රී ලංකාවට පළමු පන්තියේ ගුවන් සේවා සම්පාදනය කරන එකම ජාත්‍යන්තර ගුවන් සමාගමයි.

Visits: 129