මෙවර LPL 2023 තරගාවලියට ලොව සුපිරි ක්‍රිකට් තරු රැසක්

ලංකා ප්‍රිමියර් ලීග් (Lanka Premier League – LPL) විස්සයි විස්ස තරගාවලියේ සිව්වැනි අදියර 2023 ජූලි 30 සිට 2023 අගෝස්තු 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Galle Gladiators, Dambulla Aura, Jaffna Kings, Colombo Strikers සහ Kandy Falcons යන කණ්ඩායම් මෙවර ශූරතාව සඳහා තරග වදින අතර, කොළඹදී සහ මහනුවරදී තරග පැවැත්වේ.

මෙවර තරගාවලියේ එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකු බැගින් ඇතුළත් වනු ඇත. දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු 2023 මැයි 15 දින ආරම්භ වන අතර, කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම 2023 ජූනි 04 දින සජීවීව සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වන ඩ්වේන් බ්‍රාවෝ සහ කයිරන් පොලාඩ් මෙන්ම බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන් වැනි සුපිරි තරු රැසක් මෙවර LPL තරගාවලියට එක්වෙති.

ඊට අමතරව ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය, බංග්ලාදේශය, අයර්ලන්තය, නවසීලන්තය සහ නැමීබියාව යන රටවල ක්‍රීඩකයන් රැසක් මෙවර LPL තරගාවලියට එක්වනු ඇත.

මැතිව් වේඩ්, ෂෝන් මාෂ්, ඩාසි ෂෝට්, උස්මාන් කවාජා, ලුන්ගි න්ගිඩි, ඉම්රාන් තහීර්, තබ්‍රීස් ෂම්සි, මුහම්මද් නවාස්, නසීම් ෂා, වහාබ් රියාස්, ලිට්න් ඩාස්, අෆිෆ් හොසේන්, පෝල් ස්ටර්ලිං, මිචෙල් සැන්ට්නර්, ඉෂ් සෝධි, ටිම් සීෆර්ට්, ඩග් බ්‍රේස්වෙල්, සහ එරාඩ් ඉරාස්මස් ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම දෙවරක් එකිනෙකා සමග තරග වදිනු ඇති අතර, ඒ අතරින් කණ්ඩායම් හතරක් ඊළඟ වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලිය පුරාම ප්‍රේක්ෂකයන්ට ඉතාමත් උණුසුම් තරග අත්දැකීම් පෙළක් විඳගැනීමට හැකි වනු නිසැක ය.

ඩුබායි පදනම් කරගත් දැවැන්ත සමාගමක් වන IPG, 2023 LPL තරගාවලියේ නිල ප්‍රවර්ධක සමාගම ලෙස කටයුතු කරයි. ලොව ජනප්‍රිය ක්‍රීඩකයන් රැසක් සහභාගී වන LPL තරගාවලිය ප්‍රේක්ෂකයන්ට සදානුස්මරණීය අත්දැකීමක් වනු ඇති බව, IPG සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා පැවසී ය.

කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට නියමිත බැවින් ඩ්වේන් බ්‍රාවෝ සහ කයිරන් පොලාඩ් සහභාගී වනු ඇත්තේ LPL තරගාවලියේ මූලික අදියරේ තරගවලට පමණි. මෙවැනි විශාල ජනප්‍රියත්වයක්, පිළිගැනීමක් සහ ඉල්ලුමක් ඇති ක්‍රීඩකයන් LPL තරගාවලියට සහභාගී වීමට උනන්දුවක් දැක්වීම, ජාත්‍යන්තර තරු ආකර්ෂණය කරගැනීමට LPL තරගාවලිය සතු හැකියාවට මනා සාක්ෂියකි.

“මෙම වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සැලසුම්වලට බාධාවක් නොවන ආකාරයට, ජූලි සහ අගෝස්තු මාසවලදී LPL තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙය අපට ඉහළම තලයේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් ආකර්ෂණය කරගැනීමට ලැබෙන අගනා අවස්ථාවක්.” ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල මහතා පැවසී ය.

ආරම්භයේ සිටම අතිශය සාර්ථක තරගාවලියක් වූ LPL ලොව පුරාම ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගැනීමට සමත් වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩකයන්ට, ලොව ප්‍රවීණ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරමින් තම කුසලතා වැඩිදියුණු කරගැනීම සඳහා ලැබෙන අනගි අවස්ථාවකි. මෙවර තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන් ළඟදීම ප්‍රකාශයට පත්කෙරෙනු ඇති අතර, ඉන් අනතුරුව ක්‍රීඩාලෝලීන්ට තරග නැරඹීම සඳහා කාලය සහ අවස්ථාව වෙන්කර ගැනීමට හැකි වනු ඇත.

“නැවත වරක් මෙම තරගාවලිය පැවැත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම වසරේ LPL තරග උණුසුම විඳගැනීමට අප මහත් උනන්දුවකින් යුතුව බලා සිටිනවා. තරගාවලියට එක්වන සුපිරි ක්‍රීඩකයන් දෙස බලන විට, මෙය අතිශය සාර්ථක තරගාවලියක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” සමන්ත දොඩන්වල මහතා වැඩිදුරටත් පැවසී ය.

Visits: 102