ඉන්දියාවේ Jio හි IAX සන්නිවේදන කේබලය ඩයලොග් ආසිආටා හවුල්කාරීත්වයෙන් මාතරට

ඉන්දියාවේ රිලායන්ස් සමූහයට අයත් ජියෝ (Reliance Jio) ජංගම දුරකතන සේවා සමාගමේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක India – Asia – Xpress (IAX) සන්නිවේදන සම්බන්ධතා කේබලය පසුගියදා ශ්‍රී ලංකාවේ මාතර වෙත ලගා වූ බව වාර්තා වෙයි.

සාගර අභ්‍යන්තර කේබලයක් (Submarine Cable) ලෙස මෙම සන්නිවේදන සම්බන්ධතා කේබලය නම් කෙරී තිබේ. ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙම කේබලය නෞකා මගින් මාතර වෙත එලීම සිදු කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ඩයලොග් සමාගම එහි මෙරට හවුල්කරුවා ලෙස Jio සමාගමත් සමගින් එක්ව එම ව්‍යාපෘතිය වෙත දායක වී සිටියි.

මේ සම්බන්ධයෙන් සිය LinkedIn ගිණුමේ සටහනක් තබා ඇති ඩයලොග් ආසිආටා සමාගමේ සාගරඅභ්‍යන්තර සහ සන්නිවේදන ප්‍රධානී ඉසුරු බින්දුහේවා මහතා, “පසුගිය අප්‍රේල් 15 වැනිදා ඩයලොග් ආසිආටා සමාගම මෙම IAX සාගර අභ්‍යන්තර කේබලය ශ්‍රී ලංකාවේ මාතර වෙත රැගෙන ආවා. මෙය ඩයලොග් සතු තෙවැනි කේබලය වගේම ශ්‍රී ලංකාව සතු 09 වැන්නයි. මෙම ආයෝජනය හරහා ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාව සන්නිවේදන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට හැකි වේවි. ඒ හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ උත්සාහයන්ට සහයෝගයක් ලබාදෙන්නට හැකිවේවි.” යනුවෙන් පවසා තිබේ.  

2021 වසරේදී Reliance Jio සමාගම මගින් ආරම්භ කළ මෙම IAX කෙබල් ව්‍යාපෘතිය මගින් එලෙන කේබල් ජාලය ඉන්දියාවේ සිට ආසියා පැසිපික් කලාපය වෙත දිවෙයි. ඒ හරහා ඉන්දියාවේ මුම්බායි සහ චෙන්නායි නුවර සිට ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව මෙන්ම මාලදිවයිනේ හුල්හුමාලේද සම්බන්ධ කරයි.

2023 වසරේ මැද සිට මෙම කේබලය සේවාව වෙත එක් කිරීම සැලසුම වී තිබේ. එසේම එය ඉදිරියේදී ඉන්දියාවේ විසාග් සහ කල්කටා යන නගර වෙත මෙන්ම බංග්ලාදේශය සහ මියන්මාරය වෙතත් පුළුල් කිරිම අදහස වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළේ පිහිටි මාතර අද වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ SeaWeMe-5 කේබලයේද ගොඩබිම් ස්ථානය වෙයි. එසේම එම සමාගම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත SeaWeMe-6 පද්ධතිය ගොඩබිම වෙත සම්බන්ධ වන්නේද මාතරදීය.

ශ්‍රී ලංකාව සමගින් සම්බන්ධවී සිටින අනෙකුත් සන්නිවේදන කේබල් හතම කොළඹ නගරය අවට ප්‍රදේශය හරහා ගොඩබිමට සම්බන්ධ වී තිබේ.

ඒ අතරින් Bay of Bengal Gateway (BBG) සහ Maldives Sri Lanka Cable System (MSC) කේබල ඩයලොග් සමාගමේ CLS හරහා කොළඹින් පිටත පිහිටි ගල්කිස්ස ප්‍රදේශයේදී ගොඩබිම හා සම්බන්ධ වී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම දුරකතන සමාගමක් වන ඩයලොග් ආසිආටා සමාගම මීට පෙර MTN Networks ලෙසින් හැඳින්වුණු අතර පසුව Dialog Telekom බවට පත්විය. එම සමාගම මැලේසියාවේ දුරකතන සේවා සමාගමක් වන Axiata Group Berhad හි පරිපාලිත සමාගමකි.

Visits: 216