ඇපල් සමාගම ඉන්දියාව තුළ සිය පළමු අලෙවිසැල මුම්බායිහිදී විවෘත කරයි

සුප්‍රසිද්ධ තාක්ෂණික උපාංග නිෂ්පාදන සමාගමක් වන Apple Inc. සමාගම ඉන්දියාව තුළ පිහිටු වූ සිය පළමු අලෙවි සැල අද (18දා) දිනයේදී විවෘත කර තිබේ. මුම්බායි නුවර පිහිටි මෙම අලෙවි සැල විවෘත කිරීම ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඉන්දියානු ඇපල් අලෙවි සැලේ සේවක සේවිකාවෝ සහ ගනුදෙනුකරුවෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම අලෙවි සැල විවෘත කිරීමේ අවස්ථාව සඳහාම ටිම් කුක් පසුගියදා ඉන්දියාව වෙත පැමිණි අතර, අනිද්දා දිනයේදී ඇපල් සමාගම ඉන්දියාව තුළ සිය දෙවැනි අලෙවි සැල ලෙස නවදිල්ලි නුවර ඇපල් අලෙවි සැලක් විවෘත කිරිමද ඔහු අතින් සිදු වීමට නියමිතව තිබේ.

වර්තමානයේදී ඉන්දියාව ලොව දෙවැනි විශාලතම ස්මාට් දුරකතන වෙළෙඳ පොළ ලෙස සැලකෙන අතර, මෙම අලෙවි සැල් විවෘත කිරිමත් සමගින්ම ඇපල් සමාගමේ අයිෆෝන් අලෙවිය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙනු ඇතැයිසඳහන් වෙයි.

මෙම අලෙවිසැල් විවෘත කිරිම සම්බන්දයෙන් අදහස් දක්වා ඇති ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්, “ඉන්දියාව සතුව ලස්සන සංස්කෘතියක් වගේම සුවිශේෂී බලයක් තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන් වෙත සහාය දක්වමින්, ඉන්දියානු සමාජය වෙත ආයෝජන සිදු කරමින් සහ වඩාත් යහපත් අනාගතයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කිරිමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසා තිබේ.

ඇපල් සමාගම මගින් මුම්බායි නුවරදී විවෘත කෙරුණු මෙම පළමු ඇපල් අලෙවි සල පිහිටි ගොඩනැගිල්ල ඉන්දියාවේ රිලයන්ස් මොබයිල් සමාගම අයත් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ හිමිකරුවා වන මුකේෂ් අම්බානි වෙත අයත් දේපළකි.

Visits: 154