“අපනයන මූලික කරගත් ආර්ථිකයක් සඳහා වෙළෙඳපොල තරඟකාරීත්වයක් වැදගත්” – JAAF සභාපති ශරඩ් අමලියන්

ශ‍්‍රී ලංකාවේ අපනයන මූලික කරගත් ආර්ථිකයක් පවත්වාගෙන යාමට වෙළඳපල තරඟකාරිත්වයක් සඳහා දිරිමත් කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) සභාපති ශරඞ් අමලියන් මහතා අවධාරණය කරයි.

පසුගියදා පැවැති ‘Economic Dialogue’: IMF and Beyond නම් සාකච්ඡා මණ්ඩපයේදී වරලත් ගණකාධිකාරීන්ගේ සංසදයට අයත් ප‍්‍රධාන පාර්ශවකරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස ඒ මහතා මේ බව සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම ආර්ථික අර්බුදයන් සහ කොවිඞ් වසංගතය මධ්‍යයේ වුවද දැඩි අසීරුකම් මැද ඇඟලූම් කර්මාන්තයේ මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යාමට ශ්‍රී ලංකාවට තිබූ හැකියාව හේතුවෙන් ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ විශ්වාසය එලෙසම පවත්වා ගෙන යාමට ක්ෂේත‍්‍රයට හැකි වූ බව අමලියන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

කොවිඞ් වසංගතය අතරතුර ඇඟලූම් කර්මාන්තය ‘‘අත්‍යවශ්‍ය සේවාවක්” ලෙස නම් කිරීමට රජය ලබා දුන් සහයෝගය විශ්වාසය ඇති කරවන පසුබිමක් නිර්මාණය කිරීමට තීරණාත්මක ලෙස බලපෑ බව ඔහු පැවසුවේය.

මේ වන විට ඇඟලූම් ක්ෂේත‍්‍රය ඇණවුම්වල 20-25% ක පහත වැටීමක් පෙන්නුම් කෙරෙන අතර, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට (SMEs) වැඩි වශයෙන් බලපා ඇති පාරිභෝගික සිල්ලර වෙළෙඳපලේ ඇති වූ මෑත කාලීන වෙනස්කම් සැලකිල්ලට ගෙන, අපනයන සිදු කිරීමට පහසුකම් සපයන පරිසරයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් බව අමලියන් මහතා සඳහන් කළේය.

ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරමින් පවසා සිටියේ ශ‍්‍රී ලංකාවට සමීප රටවල් ලබා දී ඇති අවස්ථාවන් ප‍්‍රයෝජනයට ගෙන ව්‍යාපාරික කටයුතු කිරීමට පහසු පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. අපනයන ක්ෂේත‍්‍රයේ තරඟකාරීව පවත්වා ගෙන යාමට දැඩි සහයෝගයක් ලබා දුන් ගැසට් පත‍්‍රය පසුගියදා අවලංගු කිරීම අපනයන ක්ෂේත‍්‍රයට දැඩි බලපෑමක් එල්ල කරන බව ඔහු පෙන්වා දුන්නේය.

‘‘මේ වන විට පාරිභෝගික සිල්ලර වෙළඳාමට යම් යම් බාධාවන් එල්ල වී තිබෙනවා නමුත් අප තරගකාරීත්වය සමඟ ඉදිරියට යා යුතුයි. මෙහිදී අපට ඇති අවස්ථාවන් හරි හැටි හඳුනාගත යුතුයි. නැව්ගත කිරීම සහ භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු විවෘතව පවත්වා ගෙන යාමත් ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන යාමට පහසුකම් සැපයීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමත් දැඩි අවශ්‍යතාවයක්ව තිබෙනවා. දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ තිබෙන අතර ගෝලීය ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ අපගේ ස්ථානය අඛණ්ඩව ඉහළ නැංවීමට ඇති අවස්ථාව පිළිබඳව සැමවිටම සැලකිලිමත් වන බව අප සහතික වනවා.’’ යනුවෙන් අමලියන් මහතා පැවසුවේය.

ශ‍්‍රී ලංකාවේ උන්නතිය සඳහා මෙන්ම තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට වෙළඳ කටයුතුවල විවෘතභාවයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ප‍්‍රධාන දේශනය පවත්වමින් පැවසුවේය. ඉදිරි දෙවසර තුළ ඉහළ තරගකාරී සමාජ ආර්ථිකයක් සඳහා අඩිතාලම දමමින් තිබෙන බවත් පෞද්ගලික ආයෝජන සඳහා ඇති බාධාවන් ඉවත් කෙරෙන දැනට පවතින නීති නවීකරණය කිරීමේ අවශ්‍යතාව ඔහු මෙහිදී අවධාරණය කළේය. ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සඳහා ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම ඉදිරියට ගෙන යාමටත් කලාපය තුළ පුළුල් ආර්ථික සහයෝගීතාවකට එක් වීමටත් ඔහු කැමැත්ත පළ කර සිටියේය.

මෙම ‘Economic Dialogue’: IMF and Beyond පිළිබඳ වරලත් ගණකාධිකාරීන්ගේ සංසදයට රජය සහ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලකයින්, ව්‍යාපාරික නායකයින් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල විධායක නිලධාරීන් සහභාගී විය.

Visits: 108