සමූපාකාර රක්ෂණ සමාගමේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර මෙහෙයුම් සති තුනකට තහනම් කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමූපකාර රක්ෂණ සමාගම පීඑල්සී (Co-Operative  Insurance Company PLC) හි සාමාන්‍ය රක්ෂණ මෙහෙයුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම ක්‍රියාත්මක වන අතර, එය ලබන මැයි 02 වැනිදා දක්වා සති තුනක කාලයකට බලාත්මක වන බවත් එම කොමිසම සඳහන් කර තිබේ.

Co-Operative  Insurance Company PLC සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය සහ එම සමාගමෙහි නියාමන කොන්දේසි අතර පවතින ගැටලුවක් නිසා මෙම තහනම පැනවී ඇතැයි එම කොමිසම පවසා සිටියි.

ඒ අනුව මෙම කාරණාව සම්බන්ධයෙන් Co-Operative Insurance Company PLC සමාගම ලබන අප්‍රේල් 25 වැනිදාට හෝ ඊට පෙර ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම වෙත හේතු දැක්වීමක් සිදු කළ යුතුව ඇතැයිද සඳහන් වෙයි.

“Co-Operative Insurance Company PLC සමාගම එම සමාගමෙහි නියාමන කොන්දේසි අනුව සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය පවත්වාගෙන යාමට දක්වා ඇති අපොහොසත්බව පිළිබඳව සිදු කළ නිරීක්ෂණයත් සමගින්ම කොමිසම මෙම තීරණයට පිවිස තිබෙනවා.” යනුවෙන් එම කොමිසම මෙම තීරණය සම්බන්ධයෙන් Co-Operative Insurance Company PLC සමාගම වෙත ලබාදුන් ලිපියක සඳහන් වෙයි.

ඒ අනුව මේ තත්ත්වයත් සමගින්ම සිය කොමිසමේ විධානයට අනුව Co-Operative Insurance Company PLC සමාගම වෙත සිය සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු වෙත පිවිසීම හෝ දැනට පවතින ව්‍යාපාර අලුත් කිරීම හෝ තාවකාලිතව තහනම් කෙරෙන බව පැවසෙයි.

කෙසේ වෙතත් මෙම තහනම හුදෙක් තාවකාලික තහනමක් පමණක් වන බවත්, සිය රක්ෂණ වන්දි ගෙවීම සහ මූල්‍ය දෙපාර්තමේන්තුව ඉදිරියටත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවත් Co-Operative Insurance Company PLC සමාගම පවසයි.

එසේම උද්ගතව ඇති මෙම ගැටලුව කඩිනමින් විසඳා සියලුම හවුල්කරුවන් වෙත සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරිමට Co-Operative Insurance Company PLC කළමනාකාරිත්වය පියවර ගන්නා බවත් වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 457