රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’ මැයි මාසයේදී

‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 2023 මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රදර්ශනය පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා මහජනතාවට විවෘත වන අතර, ඇතුළුවීම නොමිලේ.

ප්‍රධාන ආංශික නිපුණතා සභා 5කට අදාළ නව ප්‍රවණතා හා තාක්ෂණයන් පිළිබඳ දැනුම හා ඒ හා සබැඳි අවස්ථාවන් ලබා දෙනු ඇත. මෙය එම ක්ෂේත්‍රවල රැකියාවලට පිවිසීමට අපේක්ෂා කරන්නන්ට ලැබෙන අගනා අවස්ථාවකි.

2016 වසරේදී පිහිටුවන ලද සහ, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහයෝගය යටතේ පවතින ආංශික නිපුණතා සභා මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

ආංශික නිපුණතා සභාවලට අදාළ කර්මාන්ත නියෝජනය කරන අමාත්‍යවරුන් ඇතුළු තවත් සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සමාරම්භක උළෙලට සහභාගී වනු ඇත. මෙය ජාතික මට්ටමේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් වන අතර, නිපුණතා සහ කුසලතා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට එය සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන, වෙළඳ කුටි හරහා තම නිෂ්පාදන, සේවාවන් හා අවශ්‍යතායන් පිළිබද දැනුවත් කරන ලෙසත්, අදාළ ක්ෂේත්‍රවල රැකියා අපේක්ෂිතයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමග සමීප සම්බන්ධතා ගොඩනංවාගන්නා ලෙසත් සංවිධායකවරු අදාළ සමාගම්, ආයතන හා සංවිධානවලින් ඉල්ලා සිටිති.

වෙළඳ කුටි වෙන්කරවා ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු 076 791 6006 දුරකථන අංකය ඔස්සේ ෂෙනාල් ජයසිංහ මහතා සහ 0772730770 සමන්ති ලෙනෝරා මහත්මිය වෙතින් ලබාගත හැක.

පාසල් සිසුන්, පාසල් අධ්‍යාපනය අවසන් කළ පුද්ගලයන්, උපාධි අපේක්ෂකයින්, උපාධිධාරීන්, රැකියා විරහිත පුද්ගලයන්, නව රැකියා සොයන්නන්, දෙමාපියන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇතුළු ඕනෑම කෙනෙකුට Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය විවෘත වේ.

ප්‍රදර්ශනයේ ආවරණ පරාසය තවදුරටත් පුළුල් කිරීම සඳහා තෝරාගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසකටද ආරාධනා කර ඇති අතර, මින් ඉදිරියට මෙම ප්‍රදර්ශනය වාර්ෂිකව පැවැත්වීමේ හැකියාව සොයාබැලීමටද මෙහි සංවිධායකවරුන් එකඟ වී ඇත. Sri Lanka Skills Expo 2023 සඳහා සිසුන්, ශ්‍රමිකයන් සහ අනෙකුත් පාර්ශවකරුවන් 15,000 ට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වය තෙදින තුලදී අපේක්ෂා කරයි.

Visits: 52