ජෝන් කීල්ස් සමූහයෙන් ‘1990 සුව සැරිය’ ගිලන් රථ සේවයට රු. මිලියන 100 ක්

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ‘සුව සැරිය’ ගිලන් රථ සේවය වෙනුවෙන් රු. මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා පසුගිය දා ගිවිසුම් අත්සන් කළේ ය.

මූල්‍යමය ගැටලු හේතුවෙන් පසුගිය කාලය තුළ සුව සැරිය ගිලන් රථ සේවය පවත්වා ගෙන යාමට අපහසු තත්ත්වයක් උදා වී තිබිණි.

2016 වර්ෂයේදී ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව සුව සැරිය ගිලන් රථ සේවය ආරම්භ කරන ලදි. සුව සැරිය යනු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මහඟු සේවයක් ඉටු කරන සේවාවක් වන අතර, මෙම කාලෝචිත පරිත්‍යාගය එම සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යාමට උපකාරී වනු ඇත.

විශේෂයෙන්ම දිවයිනේ දුෂ්කර පළාත්වල ජීවත් වන, සෞඛ්‍ය පහසුකම් අවම මට්ටමින් හිමි වන ජනතාවට හදිසි සෞඛ්‍ය සේවාවන් සැපයීම මෙහි මූලික අරමුණ විය. මේ දක්වා දස දහස් ගණනකට වෛද්‍යාධාර සපයමින්, විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීමට මෙම සේවාව සමත් වී තිබේ.

මෙතෙක් කල් රජයේ අයවැය ප්‍රතිපාදන මගින් පවත්වා ගෙන ගිය සුව සැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වා ගෙන යාමට අපහසු තත්ත්වයක් මෑත කාලීනව උදා විය. මෙම තත්ත්වය හමුවේ මෙම මහඟු මෙහෙවර අඩාල වීමට ඉඩ නොදී, සුව සැරිය පදනමට රු. මිලියන 100 ක පරිත්‍යාගයක් සිදු කිරීමට කීල්ස් සමූහ ව්‍යාපාරය කටයුතු කළේය.

මෙම පරිත්‍යාගය නිසා සුව සැරිය සේවාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට සහ ගිලන් රථ නඩත්තුව නිසි පරිදි සිදු කිරීමට මෙන්ම කාර්ය මණ්ඩලය බඳවා ගෙන ඔවුන්ට පුහුණුව ලබා දීමට ද හැකි වනු ඇති අතර, ඉදිරියේදී සුව සැරිය සේවාවන් තව දුරටත් ව්‍යාප්ත කරමින් තවත් ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට ද හැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසුවේ, ප්‍රජාවන්ට අත්වැලක් වීම සහ ඔවුන් සවිබල ගැන්වීම තම යුතුකමක් හා වගකීමක් බව ජෝන් කීල්ස් සමූහය විශ්වාස කරන බවයි.

“සෞඛ්‍යය යනු ජෝන් කීල්ස් පදනම යටතේ අපගේ ප්‍රජා සත්කාර මෙහෙවර තුළ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන එක් අංශයක්. එම නිසා සුව සැරිය ගිලන් රථ සේවාවටත්, එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගැනීමට කැප වන සුව සැරිය කාර්ය මණ්ඩලයටත් මෙලෙස අත්වැලක් වීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. එමෙන්ම මෙම මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තම දායකත්වය ලබාදෙන මෙන්, දිවයිනේ සෙසු සමාගම් හා ආයතනවලින් අප කාරුණිකව ඉල්ලා සිටිනවා.” ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.

අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සහිත ගිලන් රථ 297 ක් සුව සැරිය සේවාව සතුව පවතින අතර, මනාව පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් එම ගිලන් රථවල සේවයෙහි යෙදී සිටිති. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සිදු කළ මෙම පරිත්‍යාගය මගින්, සුව සැරිය ගිලන් රථ සේවාවට මෙන්ම එහි සේවාවන් ලබන සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ද සුවිශාල යහපතක් සිදුවනු නොඅනුමාන ය.

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිඞ්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි.

Visits: 79