LOLC සිලෝන් හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC හෝල්ඩිංග්ස්හි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වෙයි

LOLC සමූහයට අයත් සිංගප්පූරුවෙහි ලියාපදිංචි LOLC Financial Sector Holding Private Ltd සමාගම සතුව තිබූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් 315,000,000ක් අලුතින් පිහිටවුණු LOLC සිලෝන් හෝල්ඩිංල්ස් පීඑල්සී සමාගම වෙත පවරා ඇතැයි පවසයි.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙය LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් 26.25%ක ප්‍රතිශතයකි.

මෙහිදී එක් කොටසක් රුපියල් 8.00 බැගින් අලෙවි වී ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 2.5ක් (2,520,000,000ක්) ලෙස සටහන්ව තිබේ.

LOLC සමූහය සිය මූල්‍ය සේවාවන්හි සිදු කරන අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම කොටස් පැවරීම සිදු කර තිබෙන බව පවසයි.

මෙම LOLC Financial Sector Holding Private Ltd සමාගමLOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි.

එම සමාගම LOLC හෝල්ඩිංග්ස්හි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා ලෙස පැවතුණි.

ඒ අනුව මෙම කොටස් ගනුදෙනුවත් සමගින්ම 2023 මාර්තු 31 වැනිදා වනවිට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් හිමිකාරීත්වය අනුව වැඩිම කොටස් හිමිකරුවා ලෙස LOLC Asset Holding Limited සමාගම සතුව කොටස් 765,000,000ක් පවතී. එය ප්‍රතිශතයක් ලෙස 63.75%කි.

එසේම දෙවැනි කොටස් හිමිකරුවා ලෙස LOLC සිලෝන් හෝල්ඩිංග්ස් සතුව කොටස් 315,000,000ක් පවතින අතර එය 26.25%ක ප්‍රතිශතයකි. මීට අමතරව සමාගමේ මහජන කොටස් හිමිකාරීත්වය 10%කි.

Visits: 421