HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ උදය සිංහ මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වූ බව එම සමාගම පවසයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව හා ආසියානු පැසිෆික් කලාපය තුළ HEINEKEN සන්නාමය තව දුරටත් නඟා සිටුවීම වෙනුවෙන් මෙරට කාර්ය මණ්ඩලය හා අනෙකුත් හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීම උදය සිංහ මහතාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

මෝල්ට්, ජලය, බීර මල් සහ උසස් තත්වයේ අමු ද්‍රව්‍ය හතරක් යොදා ගනිමින් ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනු ලබන එකම බියර් සන්නාමය වන Heineken® 2021 වසරේදී මෙරට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසු සිංහ මහතාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය ලෙසද මෙය සඳහන් කළ හැකිය.

ඉන්දියාවේ ඉහළින්ම පිළිගනු ලබන බිර්ලා තාක්ෂණික ආයතනය විසින් පිරිනමන ලද වෘත්තීය ඉංජිනේරු උපාධියකට හිමිකම් කියන සිංහ මහතා මේ වන විට සිංගප්පූරුවේ පදිංචිව සිටී. ඒ මහතා Xavier School of Management හි ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හිමිකරගෙන ඇත.

2021 වසරේ සිට HEINEKEN Asia Pacific හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සිංහ මහතා ඉන්දුනීසියාව, පිලිපීනය, නවසීලන්තය, කාම්බෝජය, නව කැලිඩෝනියාව, ඕස්ටේ්‍රලියාව, ශ්‍රී ලංකාව හා දකුණු පැසිෆික් කලාපයේ බීර නිෂ්පාදනාගාර ඇතුළු HEINEKEN හි මෙහෙයුම් සමාගම්වල වර්ධනය සහ සංවර්ධන පිළිබඳ අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර නඟා සිටුවීමේ උපාය මාර්ගික වැදගත්කම පිළිබඳව මෙහිදී අවධාරණය කළ උදය සිංහ මහතා සඳහන් කර සිටියේ “අපගේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළෙඳනාමය HEINEKEN සමඟින් ශ්‍රී ලංකාවේ අවසරලත් බියර් නිෂ්පාදන වෙළෙඳපොල තව දුරටත් වර්ධනය කර ගැනීමේ සුවිසල් අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිත්‍යානුකූල බලපත්‍රලාභී අලෙවිසැල් ප්‍රමාණය ඉහළ නැංවීම තුළින් එය තව දුරටත් සාක්ෂතා කරගත හැකියි. වසර ගණනාවක් තිස්සේ මෙරට තුළ ආයෝජනය කර ඇති අප ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් බියර් නිෂ්පාදනයන් ආරම්භ කිරීමට කටයුතු කළා.” යනුවෙන් පවසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා, “ශ්‍රී ලංකාව නැවත සාමාන්‍ය තත්වයට පත් වන විට පාරිභෝගිකයින් හට සාධරණ හා තරඟකාරී මිලක් යටතේ තමන් කැමති සන්නාමයන් තෝරා ගැනීමේ අවස්ථාව උදා කර දීම අපගේ අරමුණයි. ඒ සඳහා අවස්ථාව ලබා දුන් ශ්‍රී ලංකා රජයටත්, සුරාබදු දෙපාර්තමේන්තුවට හා මුදල් අමාත්‍යාංශයටත් අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ටත් මේ මොහොතේ මාගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. එසේම ඔවුන් සමඟ ඉදිරියේදීත් සමීපව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරනවා” යනුවෙන් ද පවසා තිබේ..

මෙහිදී අදහස් දැක්වූ HEINEKEN Lanka හි කළමනාකාර අධ්‍යක්ෂිකා Maud Meijboom-van Wel මහත්මිය “ශ්‍රී ලංකාව තුළ බියර් කර්මාන්තය දියුණු වෙමින් පවතින තත්වයක් තුළ උදය සිංහ මහතාගේ පැමිණීම ඉතා විශේෂයි. ඒ තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොල පිළිබඳ ඔහු සතු දැනුම බෙදා හදා ගැනීමට අපට අවකාශ උදා වෙනවා. පාරිභෝගිකයින් කැමති වෙළෙඳනාම පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව සලසා දීමට කටයුතු කරන අප ලොව පිළිගත් නව්‍යකරණ නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ගෙන ඒමට නිරන්තරයෙන් උත්සාහ කරනවා.” යනුවෙන් සඳහන් කර තිබේ.

Visits: 118