නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සහ කැන්රිච් ෆිනෑන්ස් ඒකාබද්ධ වීම මැයි 31කට කල් යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CSF.N0000) සහ කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම අතර යෝජිත ඒකාබද්ධ කිරීම මාර්තු 31 වැනිදා සිදු නොවුණු බව නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

ඒ අනුව මෙම ඒකාබද්ධ කිරිම සිදුවන මීළග දිනය ලෙස මැයි 31 වැනිදා ලෙස ප්‍රකාශ කෙරෙන බවත් එම සමාගම සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද මේ සඳහා වන අනුමැතිය ලබා දී තිබෙන බවත් එම සමාගම පවසා සිටියි.

2022 දෙසැම්බර් 20 වැනිදා සමාගම මගින් පළමුවරට මෙම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කෙරිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සඳහන් කර ඇති අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් මෙලෙස මූල්‍ය සමාගම් ඒකාබද්ධ වීමේ කටයුතු සිදු වෙමින් පවතී.

එසේම මෙම ඒකාබද්ධ වීමෙන් අනතුරුව ඉතිරි වන සමාගම නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ලෙස හැඳින්වෙනු ඇති බවත් සඳහන් වෙයි.

1971 වසරේදී පිහිටවුණු කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම 2010 වසරේදී යළිත් දියත් කිරීමක් සිදු විය. එතැන් සිට වසර හයක කාලයක් ඇතුළතදී සමාගම සිය වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 600 සිට රුපියල් බිලියන 12 දක්වා වර්ධනය කරගැනීමට සමත්ව ඇතැයිද පවසයි. අද වනවිට එක් ශාඛාවක සිට ශාඛා 36ක් දක්වා ව්‍යාප්ත වෙමින් සේවකයන් 1,000ක් දක්වා වර්ධනය කරගැනීමට හැකිව ඇත.

කොළඹ 07, වෝර්ඩ් පෙදෙසේ අංක 69 දරන ස්ථානයෙහි මෙම කැන්රිච් ෆිනෑන්ස් ලිමටඩ් සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබේ.

මෙම ඒකාබද්ධවීම සඳහා ලැබිය යුතු ඇති අනෙකුත් අනුමැතීන් ලැබිමත් සමගින්ම 2023 මාර්තු 31 වැනිදාට පෙරාතුව මෙම සමාගම් දෙක ඒකාබද්ධ වීමක් සිදුවනු ඇතැයිද නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම අපේක්ෂා කර තිබුණි.

Visits: 185