එක්ස්පෝලංකා සමාගම ඩො.මිලියන 90කට කැනේඩියානු ලොජිස්ටික් සමාගමක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කැනඩාවේ ලියාපදිංචි ලොජිස්ටික් සේවා සමාගමක් වන LEI Group (Locher Evers International) සමාගමෙහි හිමිකාරීත්වය අත්පත් කරගත් බව පවසයි.

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සිංගප්පූරුවෙහි ලියාපදිංචි EFL Global Logistics (Pte) Ltd හෙවත් EFL Singapore සමාගම හරහා මෙම අත්පත් කරගැනීම සිදු කර තිබේ. ඊයේ (මාර්තු 30) වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ.

මෙහිදී අදාළ ගනුදෙනුවේ සමස්ත වටිනාකම කැනේඩියානු ඩොලර් මිලියන 90ක් (90,000,000ක්) වන බව එක්ස්පෝ ලංකා සමාගම පවසයි.

1976 වසරේදී පිහිටුවුණු LEI Group සමාගම පවුල් හිමිකාරීත්වය සහිත කැනේඩියානු ලොජිස්ටික් සේවා සම්පාදන සමාගමකි. එම සමාගමේ වසර 47ක ඉතිහාසය තුළ අංග සම්පූර්ණ ලොජිස්ටික් සේවාවන්, නෞකා භාණ්ඩ ප්‍රවාහන, ගුවන් භාණ්ඩ ප්‍රවාහන, ගබඩා, රේගු තැරුව්කාර සේවා, දුම්රිය සේවා, බෙදාහැරීම්, අභ්‍යන්තර ට්‍රක් රථ ප්‍රවාහන සේවා ඇතුළු තවත් සේවාවන් සපයා තිබේ.

විශේෂයෙන්ම සමාගම උතුරු ඇමෙරිකානු කලාපය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්‍රමෝපායික සැලසුම යටතේ මෙම අත්පත් කරගැනීමත් සමගින්ම කැනේඩියානු වෙළෙඳ පොළ වෙත EFL Global සමාගමේ ක්‍රියාකාරකම් තවදුරටත් පුළුල් කිරීමට අවස්ථාව ලැබෙන බව එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පවසයි.

ඒ හරහා කැනඩාවේ විවිධ කර්මාන්තයන්හි නිරත පාරිභෝගිකයන් වෙත පරිපූර්ණ ලොජිස්ටික් සේවා විසඳුම් සැලසීමේ අවස්ථාවක් උදා වෙනු ඇතැයිද එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 746