වැලිබල් සමූහය සතුව තිබූ හොරණ ප්ලාන්ටේෂන්ස් සමාගම හේලීස් සමූහය යටතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි 12,750.000 ක කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට හේලීස් ප්ලාන්ටේෂන්ස් සර්විසස් (පෞද්) සමාගම (HOPL.N0000) කටයුතු යොදා ඇතැයි පවසයි.

අද දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඒ අනුව මෙය හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් 25,000,000 අතරින් 51%ක ප්‍රතිශතයකි.

මෙහිදී කොටසක් රුපියල් 54.90ක් බැගින් මිලදී ගැනීම සිදුව ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 700ක් (699,975,000ක්) ලෙස සටහන්ව තිබේ.

මෙලෙස හේලීස් සමූහයට අයත් හේලීස් ප්ලාන්ටේෂන්ස් සර්විසස් මගින් මිලදීගත් හොරණ ප්ලාන්ටේෂන්ස් සමාගමෙහි එම කොටස් හිමිකාරීත්වය හිමිව තිබුණේ වැලිබල් සමූහයට අයත් වැලිබල් ප්ලාන්ටේෂන්ස් මැනේජ්මන්ට් (පෞද්) සමාගමටයි.

ඒ අනුව 51%ක කොටස් ප්‍රතිශතයත් සමගින් එම සමාගම හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි වැඩිම කොටස් හිමිකරුවා ලෙස පැවතුණි.

වැලිබල් ප්ලාන්ටේෂන්ස් මැනේජ්මන්ට් සමාගම මෙන්ම හේලීස් ප්ලාන්ටේෂන්ස් සර්විසස් යන සමාගම් දෙකම මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් සමාගම් දෙකකි.

Visits: 172