සිලෝන් ටොබැකෝ සභාපති සුරේෂ් ෂා හන්ටර්ස් සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හන්ටර්ස් සහ සමාගමෙහි (Hunters & Co.) (HUNT.N0000) නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සුරේෂ් කුමාර් ෂා මහතා පත් කර ගෙන ඇතැයි එම සමාගම පවසයි.

පසුගිය මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මෙහිදී ඒ මහතා ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇතැයි හන්ටර්ස් සහ සමාගම පවසයි.

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට සුරේෂ් ෂා මහතා සතුව එම සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

සුරේෂ් ෂා මහතා වර්තමානයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත දැවැන්තම සමාගමක් වන සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමෙහි සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

මීට පෙර ඒ මහතා තවත් ලැයිස්තුගත සමාගම් දෙකක් වන සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග් පීඑල්සී සහ ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 2021 ජූනි මාසයේ සිට ඒ මහතා එම ධුරවලින් ඉවත් වීමෙන් අනතුරුව මෙලෙස සිලෝන් ටොබැකෝ කම්පැනි සමාගම හා සම්බන්ධ විය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සුරේෂ් ෂා මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වෙයි.

කලක් ලංකා වාණිජ මණ්ඩලයේ මෙන්ම ලංකා සේවා යෝජකයන්ගේ මණ්ඩලයේද සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති සුරේෂ් ෂා මහතා කටයුතු කර ඇත. එසේම  සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා ලෙසද ඔහු කටයුතු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.  මීට අමතරව ඒ මහතා ශ්‍රී ලංකා රජය මගින් පත් කර ඇති රජයට අයත් ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.

Visits: 99