ඇමෙරිකාවේ බැංකුවක් කඩා වැටෙයි – තැන්පත්කරුවන් සිය තැන්පතු ආපසු ගැනීමට පෝළිමේ

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා නුවර පිහිටි සිලිකන් වැලි බැන්ක් (SVB) බැංකුව වසා දැමීමට එරට නියාමකයන්  පියවරගත් බව වාර්තා වෙයි. එරට පවතින ඉහළ පොළී අනුපාත හේතුවෙන් ඇති වූ ද්‍රවශීලතා අර්බුදය SVB බැංකු කඩා වැටීමට ලක්වීම මෙලෙස එය වසා දැමීමට හේතුව වී තිබේ.

ඒ අනුව මේ වනවිට කැලිෆෝනියාවේ මූල්‍ය ආරක්ෂණ සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුව බැංකුවෙහි පාලනය භාර ගෙන ඇතැයි සඳහන් වෙයි. එසේම එහි තැන්පත්කරුවන්පිළිබඳ කටයුතු කිරීම එරට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව (FDIC) වෙත භාරදී තිබේ.

ලෝක ආර්ථික අවපාතය ඇති වූ 2008 වසරෙන් පසුව එක්සත් ජනපදයේ බැංකුවක් වෙත ඇති වූ දරුණුතම අවස්ථාව මෙය ලෙසින්ද සැලකෙයි.

මේ තත්ත්වයත් සමගින්ම එම බැංකුවෙහි තැන්පත්කරුවන් සිය තැන්පතු ආපසු ලබා ගැනීම සඳහා ඊයේ දිනයේදී එම බැංකුව ඉදිරිපිට දිගු පෝළිම් ගැසී තිබුණු බව වාර්තා වෙයි. එසේම මෙම සිදුවීමත් සමගින්ම අද වනවිට එක්සත් ජනපදයේ සමස්ත බැංකු පද්ධතිය සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව සඳහන් වෙයි.

මෙම පියවරත් සමගින්ම ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව සතුව එම බැංකුවෙහි ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 175ත පමණ මුදලක බලය හිමිව තිබේ. මෙය එරට 16 වැනියට විශාලතම බැංකු තැන්පතුව ලෙසින්ද සැලකෙයි.

මෙහිදී අදහස් දක්වා ඇති එරට බලධාරීන් SVB බැංකුවෙහි තැන්පත්කරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කරන බව පවසා තිබේ. එහිදී තැන්පතු රක්ෂණය යොදා ගැනීම සැලසුම වී තිබේ. ඒ අනුව මෙම ක්‍රමවේදය යටතේ එක්සත් ජනපද ඩොලර් 250,000ක් දක්වා වන තැන්පත්කරුවන් සඳහා එම තැන්පතු මුදල් ආපසු ගෙවීමට කටයුතු කරන බව බලධාරීන් පවසයි.

ඒ අනුව මෙම මුදල් වටිනාකම් හා සමානව තැන්පත් කර ඇති පිරිසට සඳුදා පෙරවරුවේදී එම මුදල් ලබා ගැනීමේ අවස්ථාවක් ඇතැයි බලදාරීන් සඳහන් කරයි.

එසේම බැංකුව සතුව ඇති වත්කම් අලෙවි කිරීම හරහා ලැබෙන මුදල් අදාළ රක්ෂණයට ඇතුළත් නොවූ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා යොදවා ගන්නා බවත් ඔවුන් අවධාරණය කර තිබේ.

මෙම සිලිකන් වැලි බැන්ක් (SVB) බැංකුව එක්සත් ජනපදය තුළ අලුතින් පිහිටුවන තාක්ෂණික ආරම්භක සමාගම් (startups) වෙත අවශ්‍ය අරමුදල් සම්පාදනය වෙනුවෙන් ස්ථාපිත කරවූවකි.

ලොව ණය වර්ගීකරණ ආයතනයක් වන Moody’s Investors ආයතනය මගින් පසුගිය සතියේ මැදදී එම බැංකුව හිමි මව් සමාගම වන SVB Financial Group සම්බන්ධයෙන් නිකුත් කළ පුවත මෙම බැංකුවේ කඩාවැටීම සඳහා ආසන්නතම හේතුව ලෙස සැලකෙයි.

එහිදී බැංකුව සතු ද්‍රවශීලතා අර්බුදයත් සමගින්ම එහි ණය වර්ගීකරණය පහත හෙළීමට Moody’s Investors ආයතනය කටයුතු කරන බවට අනාවරණය කෙරී තිබුණි.

කෙසේ වෙතත් එම තත්ත්වය මඟහැරවීම සඳහා බැංකුව විසින් තමන් සතුව තිබූ ඩොලර් බිලියන 20ක් පමණ වටිනා අඩු-ඵලදායිතාවක් සහ බැඳුම්කර අලෙවි කිරිමටත්, එම මුදල් වෙනත් වැඩි ප්‍රතිලාභයක් හිමිවන තැන්වල තැන්පත් කිරීමටත් පියවර ගෙන තිබේ.

එහෙත් මේ කටයුතු සිදුවන අවස්ථාවේදීම එම බැංකුවෙහි තැන්පතු ඇති ප්‍රාථමික තාක්ෂණික ආරම්භක සමාගම් සිය තැන්පතු ඉන් ඉවත් කිරීමට පටන් ගෙන තිබේ. ඒ අනුව සිකුරාදා දිනය වනවිට එම බැංකුව කඩාවැටීමේ ලකුණු ආරම්භ වූ අතර, තත්ත්වය පාලනය වෙනුවෙන් නියාමකයන් මෙලෙස බැංකුවේ තැන්පතු තමන් යටතට පත් කර ගෙන තිබේ.

Visits: 287