මාර්තු 10 වැනිදා වනවිට ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ඩොලරයට සාපේක්ෂව 14%කින් ඉහළට

2023 වසරේ ආරම්භයේ සිට මාර්තු 10 වැනිදා දක්වා ගත වූ කාලය තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම 14%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 මාර්තු 04 වැනිදා සිට 10 වැනිදා දක්වා වූ සතියක කාලය සඳහා වන සතිපතා ආර්ථික දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි.

පසුගිය මාර්තු 03 වැනිදා වනවිට මෙම වටිනාකම් ඉහළ යාම 4.9%ක ප්‍රතිශතයක් ගෙන තිබුණි. ඒ අනුව ආසන්න සතියක කාලයේදී රුපියලේ වටිනාකම ඩොලරයට සාපේක්ෂව 9.1%කින් ඉහළ ගොස් තිබේ.

මීට අමතරව වසරේ ගත වූ මෙම කාලසීමාවේදී ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 17.4කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව 15.2%කින් යූරෝවට සාපේක්ෂව 14.7%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 13.1%කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේදී රූපවාහිනි වැඩසටහනක් වෙත එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.පී.හරිස්චන්ද්‍ර මහතා අදහස් දක්වමින්, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පසුබැසීම වැළැක්වීම සඳහා ආසන්න දින කිහිපයේදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ පොළින් ඩොලර් මිලියන 500ක් මිලදී ගත් බව පවසා තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට ගත වූ කාලසිමාව තුළදී මහ බැංකුව විසින් ඩොලර් බිලියන 1ක පමණ මුදලක් වෙළෙඳ පොළ හරහා මිලදී ගෙන තිබෙන බවත් එහිදී අනාවරණය වී තිබේ.

මේ තත්ත්වයත් සමගින්ම පසුගිය පෙබරවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතු එක්සත් ජනපද ඩොලර් සංචිතය ඩොලර් මිලියන 2,217ක් (බිලියන 2.21ක්) බවට පත්ව තිබුණු බව ඊයේ නිකුත් කෙරුණු මහ බැංකු සතිපතා ආර්ථික දර්ශකය තුළ සඳහන්ව තිබේ. ඊට චීනයේ මහජන බැංකුව මගින් විදේශ විනිමය හුවමාරු එකඟතාව යටතේ ලබාදුන් ඩොලර් බිලියන 1.4ද ඇතුළත්ව තිබේ.

ඒ අනුව ආසන්න දින කිහිපයේදී සිදුකළ මිලදී ගැනීම්ද සමගින් ඊයේ දිනය වනවිට මහ බැංකුව සතු විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 2.7ක් ඉක්මවීමේ අවස්ථාවක් උදා වී තිබේ.

Visits: 72