කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම SME බැංකුවලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය දිනයි

කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් සිදුකරන මෙහෙවර උදෙසා ඇමෙරිකාවේ, නිව්යෝර්ක් කේන්ද්‍ර කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සගරාවෙන් සම්මානයක් දිනා ගනිමින් ගෝලීය වේදිකාවක් මත ගෞරවයට පාත‍්‍ර වී ඇත.

පශ්චාත් කෝවිඞ් සමය තුළදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවාදායකයන්ට අද්විතීය අයුරින් ඉහළම සහාය ලබාදුන් මූල්‍ය ආයතන උදෙසා මෙම සම්මානය පිරිනමන බැව් එම සගරාව ප‍්‍රකාශ කර සිටියේය.

මෙම ගෞරවනීය සම්මානය දිනා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවැසුවේය. ‘ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තුවට අනුව ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගෙන් 75% කට වඩා නියෝජනය කරන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ අංශයයි. එසේම එහිදී 20%කට වැඩි ප‍්‍රමාණයක් අපනයනය උදෙසා සහ රැකියාවලින් 45%ක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක්ද නියෝජනය වීම සිදුවෙනවා. දේශීය ආර්ථිකය තුළ SME ක්ෂේත‍්‍රයේ අනිවාර්ය භූමිකාව මෙම දත්ත තුළින් සනාථ වනවා. මෙම සුවිශේෂී අංශයට සහාය වීම තුළින් කොමර්ෂල් බැංකුව රටේ ආර්ථික වර්ධනයට දායක වෙනවා. මෙම නවතම සම්මානය මේ සම්බන්ධයෙන් අප දරණ උත්සාහය පිළිගැනීමක් පමණක් නොව, ව්‍යවසායකයින්ට අද්විතීය සේවාවන් සපයන විශ්වාසදායක මූල්‍ය හවුල්කරුවකු ලෙස බැංකුව හඳුනා ගැනීමක්ද වෙනවා’.

ලන්ඩන් නුවර පැවැති වාර්ෂික SME සම්මාන උළෙලේදී මෙම සම්මානය පිරිනැමුණු අතර, ඒ සඳහා රටවල් 69ක් සහ ඇමෙරිකාවේ කලාප 06ක්ද නියෝජනය විය. 2021 අපේ‍්‍රල් සිට 2022 මාර්තු දක්වා වන කාලය තුළ SME ක්ෂේත‍්‍රය උදෙසා සිදු කරන ලද සුවිශේෂී කාර්ය සාධනය මෙහිදී අවධානයට ගන්නා ලදී.

දේශීය SME ව්‍යවසායික අංශයට සහාය වීමේ බැංකුවේ මුලපිරීම් අතර, ග‍්‍රාමීය වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා වූ ‘දිරි ශක්ති’ ක්‍ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ ණය යෝජනා ක‍්‍රමය සහ අගය දාම සංවර්ධන වැඩසටහන් දියත් කිරීම ඇතුළත් වෙයි. එසේම ‘Biz Loans’ සහ ‘Agri Gold Loans’ ණය යෝජනා ක‍්‍රම සහ ධාරිතා වර්ධන වැඩසටහන්ද කාන්තා ව්‍යවසායකයින් සඳහා දියත් කර ඇත. තවද කොවිඞ් – 19 ණය ආධාර අඛණ්ඩව ලබා දීම වැනි පහසුකම්ද බැංකුවේ කේන්ද්‍රීය සේවාවන්හි විශාල කාර්යභාරයක් ඉටු කළේය.

Visits: 51