75 වැනි නිදහස් සමරු කාසියක් රුපියල් 6,000කට මිලදී ගැනීමේ අවස්ථාව

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් පසුගියදා නිකුත් කෙරුණු සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අලෙවිය සඳහා නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අද (මාර්තු 09) දින සිට එක් කාසියක් රුපියල් 6,000 ක මුදලකට මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි මහ බැංකුව පවසයි.

එහිදී කාසි අලෙවිය පැමිණීමේ ප්‍රමුඛතාව අනුව පුද්ගල හැදුනුම්පතේ තොරතුරු මත එක් අයෙකු එක් කාසියක් බැගින් අලෙවි කිරීම සිදු කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.

75 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් මහ බැංකුවෙහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් පළමු සමරු කාසිය පසුගිය පෙබරවාරි 02  වැනිදා මහනුවර ජනපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම සිදු විය.

මෙම කාසියෙහි මුහුණත වටිනාකම රුපියල් 1,000ක් ලෙස සටහන්ව තිබේ. එය තඹ – නිකල් යොදා ගනිමින් සකස් කරවූවකි. රවුම් හැඩයෙන් යුත් මෙම කාසිය හිමාකාර, වර්ණ සහිත වෙයි. මිලිමීටර් 38.61ක විෂ්කම්භයකින් යුත් මෙම කාසියේ බර ග්‍රෑම් 28.28කි.

මෙහිදී එම සමරු කාසි 2500ක් පමණක් නිකුත් කර ඇති අතර, ඉන් සීමිත ප්‍රමාණයක් මෙලෙස අලෙවිය සඳහා තබන බව මහ බැංකුව පවසයි.

එහිදී මෙම සමරු කාසිය තථ්‍යතා සහතිකය සමග ආකර්ෂණීය බහාලුමක නිකුත් කරනු ලබන බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 129