හම්බන්තොට වරාය ආශ්‍රිතව මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට චීන සමාගම් දෙකක අවධානය

හම්බන්තොට වරාය ආශ්‍රිතව දැවැන්ත ප්‍රමාණයේ අංගසම්පූර්ණ මෝටර් රථ නිෂ්පාදන  කර්මාන්තශාලාවක් පිහිටුවීම සඳහා චීනයේ ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් දෙකක අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව දැනටමත් මේ සඳහා වන ශක්‍යතා විවරණයක් සම්බන්ධයෙන් එම සමාගම් හම්බන්කොට වරාය පරිපාලනය වෙත යෝජනා ඉදිරිපත් කර ඇතැයිද සඳහන් වෙයි.

චීනයේ එක් තීරයක් මාවතක් වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා වන යසිරු රණරාජා මහතා විසින් ඊයේ සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් මෙම කරුණු අනාවරණය කළේය.

මේ ව්‍යාපෘතිය සඳහා වන ආයෝජනය අවම වශයෙන් ඩොලර් බිලියන 10-15ත් අතර අගයක් ගනු ඇතැයිද එහි සඳහන් වෙයි.

ඒ මහතා පවසන කරන ආකාරයට අද වනවිට හම්බන්තොට වරාය හරහා නැගෙනහිර ආසියාව, අප්‍රිකාව සහ ඇමෙරිකානු කලාපය වෙත සිදු කරන RORO (Roll-on/roll-off) මෙහෙයුම් (නෞකා මගින් සිදුකරන මෝටර් රථ ප්‍රවාහනය) වර්ධනය වීම මෙලෙස හම්බන්තොට වරාය ආශ්‍රිතව මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීම සඳහා චීන සමාගම්හි අවදානය යොමුවීමට හේතුවක් වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා අප සිදුකළ විමසීමකට පිළිතුරු දුන් යසිරු රණරාජා මහතා, “හම්බන්තොට වරායේ වර්තමාන මෙහෙයුම් භාරව කටයුතු කරන චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම (CM Port) යටතේ වසර දෙකක පමණ කාලයක් ඇතුළතදී එහි සිදු කරන RORO මෙහෙයුම් 300%කින් ඉහළ ගිහින් තිබෙනවා. මේ තත්ත්වය අනුව බැලුවහම හම්බන්තොට වරාය ආශ්‍රිතව මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීම වඩාත් වාසි දායක අවස්ථාවක් විදියට සලකලයි මේ සමාගම් මේ ශක්‍යතා විමර්ෂණයක් සිදු කරලා තිබෙන්නේ.” යනුවෙන් ඒ මහතා පැවසීය.

ඒ අනුව මෙම සමාගම් මගින් මෝටර් රථවල ජියර් පෙට්ටි සහ එන්ජින් පමණක් ආනයනය කර මෙරටදී එම රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ලෙස මෙය පිහිටුවනු ඇතැයි ඔහුගේ අදහස වී තිබේ. එලෙස එකලස් කෙරෙන මෝටර් රථ කෙළින්ම ඉලක්ක ගත වෙළෙඳ පොළ වන දකුණු අප්‍රිකාව, නැගෙනහිර ආසියාව සහ දකුණු ඇමෙරිකානු කලාපය වෙත නැව්ගත කළ හැකි බව සඳහන් වෙයි.

“චීනය කියන්නේ වේගයෙන් නැගී එන මෝටර් රථ නිෂ්පාදකයෙක්. ලෝකයේ මුල් පෙළේ මෝටර් රථ නිෂ්පාදකයින් පස් දෙනා අතර චීන සමාගම් ඉන්නවා. ඒ වගේම චීනය තමයි ලෝකයේ දෙවැනියට වැඩිම මෝටර් රථ නිෂ්පාදකයා.”  ඒ මහතා පැවසීය.

මෙහිදී අදාළ කර්මාන්තශාලාව පිහිටුවීම සඳහා අවශ්‍ය පහසුකම් ඕනෑ තරම් හම්බන්තොට ආශ්‍රිතව පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි.

“ඉස්සරහට චීන ආර්ථිකය තවදුරටත් වර්ධනය වෙනවා. එතකොට ඒ රටේ ලේබර් යුනිට් ඒකකට ගෙවිය යුතු මුදල ඉහළ යනවා. සමහර විට එය ඩොලර් 8ක් වගේ අගයකට පත්වෙන්නත් පුළුවන්. හැබැයි අනෙකුත් නිෂ්පාදකයන් සමග තරගකාරීව නිෂ්පාදන කරන්න නම් එය ඩොලර් 3-4 අගයක තියෙන්න ඕනේ. එතකොට චීන නිෂ්පාදකයන් යම් තරගකාරී මුදලකට තමන්ගේ නිෂ්පාදන සිදුකරන්න පුළුවන් අවස්ථාවන් සොයා යනවා.”  

එසේම චීන මෝටර් රථ නිෂ්පාදකයන් ශ්‍රී ලංකාවේ ස්ථානගතවීම ඉන්දියානු වෙළෙඳ පොළ වෙත චීන නිෂ්පාදන යැවීම සඳහා අවස්ථාවක් කරගත හැකි බවද යසිරු රණරාජා මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම ඉදිරියේදී වර්ධනය වන ඉන්දියානු ආර්ථිකය වෙත අවශ්‍ය පහසුකම් සැලසීමේදී ශ්‍රී ලංකාව වෙත වැඩි කාර්යයක් සිදුකළ හැකි බවත්, එහිදී ඉන්දියානු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා – ඉන්දියා නිදහස් වෙළෙඳගිවිසුම හරහා චීන නිෂ්පාදන ඉන්දියාව වෙත අපනයනය කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Visits: 234