2022 දී කොමර්ෂල් බැංකු සමූහය තිරසාර ශක්තිමත් වර්ධනයක් ලබාගනිමින් හානි පූර්ණ ප‍්‍රතිපාදන ඉහළ දමයි

කොමර්ෂල් බැංකු සමූහය 2022 මූල්‍ය වසර ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයකින් අවසන් කිරීමට සමත්වී තිබෙන අතර අනාගතය සුරක්ෂිත කරන උපාය මාර්ගික තීරණ ගණනාවක්ම බැංකු සමූහය විසින් මෙහිදී ක‍්‍රියාත්මක කර තිබේ.

බැංකු ඉතිහාසයේ වසරකදී වෙන්කළ වැඩිම හානි පූරණ ප‍්‍රතිපාදන ප‍්‍රමාණය මෙම මූල්‍ය වසරේදී වෙන් කිරීම මෙම උපාය මාර්ගික තීරණ අතුරින් වඩාත්ම කැපී පෙනේ.   

සාර්ව ආර්ථිකය තුළ අවිනිශ්චිතතාවයන් රැසක් මතුවූ මූල්‍ය වසරක් වූ මෙම කාලයේදී ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහයේ වත්කම් රුපියල් බිලියන 516.063 කින් හෙවත් 26.02% කින් වර්ධනය වී රුපියල් ටි‍්‍රලියන 2.5 කට ලඟාවී තිබෙන අතර සමූහයේ දළ ආදායම 71.31% කින් රුපියල් බිලියන 280.387 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර, පොලී ආදායම 67.44% කින් රුපියල් බිලියන 222.393 ක් දක්වා වර්ධනය වී තිබේ.   

කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබෙන්නේ සමූහයේ ණය පොතේ වටිනාකම රුපියල් බිලියන 151.239 කින් හෙවත් 13.81% කින් 2022 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය තුළදී වර්ධනය වී තිබෙන බවයි. මෙම වසර තුළදී විදේශ මුදල් ණය සහ අත්තිකාරම් මත රුපියල අවප‍්‍රමාණය වීමේ බලපෑම මෙයට ප‍්‍රධානතම හේතුව වී තිබේ. රුපියල අවප‍්‍රමාණය වීමේ බලපෑම වට්ටම් කළ පසුව මේ වසර තුළ පුද්ගලික අංශය ලබාගත් ණය විශාල වශයෙන් අඩුවීම හමුවේ බැංකු සමූහයේ ණය පොතේ සුළු වර්ධනයක් දැකගත හැකිවේ. මේ අතර, සලකා බලන මූල්‍ය වසර තුළදී රුපියලේ අවප‍්‍රමාණය සමඟ තැන්පතු රුපියල් බිලියන 505.103 කින් හෙවත් 34.30% කින් වර්ධනය වී තිබේ.     

මෙම මූල්‍ය වසර තුළදී බැංකු සමූහය විසින් හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ වෙනුවෙන් රුපියල් බිලියන 71.924 ක ප‍්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය රුපියල් බිලියන 46.784 කින් හෙවත් 186.10% කින් ඉහළ යාමකි. 2021 වසරේදී මේ වෙනුවෙන් රුපියල් බිලියන 25.140 ක් වෙන්කර තිබුණි. මේ හේතුවෙන් සලකා බලන වසර තුළදී බැංකු සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම 5.47% කින් රුපියල් බිලියන 64.712 ක් දක්වා පහළ ගිය අතර 2022 හතර වන කාර්තුවේදී 24.90% කින් රුපියල් බිලියන 13.147 ක් දක්වා පහළ ගොස් තිබේ. කෙසේවෙතත්, සලකා බලන වසර තුළදී බැංකු සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 43.038 කින් හෙවත් 45.98% කින් රුපියල් බිලියන 136.637 ක් දක්වා වර්ධනය වී ඇත.       

බැංකු සමූහයේ මූල්‍ය වාර්තා වලට බලපා තිබෙන බාහිර සාධක පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පැවසුවේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය නිසා දේශීය සාර්ව ආර්ථිකය පීඩනයට පත්ව තිබෙන බවයි. මේ තුළ ශ‍්‍රී ලංකාවේ විදේශීය මුදල් ද්‍රවශීලතාවය සහ බැංකුවල ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්වය විශාල පීඩනයකට ලක්වූ නිසා සලකා බලන වසරේදී ද්‍රවශීලතාවය කළමනාකරණය කර ගැනීම ප‍්‍රමුඛ කාර්ය භාරයක් වූ බව සභාපතිවරයා සඳහන් කළේය. අරමුදල්වල පිරිවැය වැඩිවීම වලක්වාලීමට නොහැකි වුවත් මූල්‍ය වත්කම් යළි මිලකරණයට සහ යළි තුලනයට ගත හැකි සෑම පියවරක්ම ගත් බව මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය. මෙහිදී, ගාස්තු පදනම් කරගත් ආදායම් වර්ධනය වූ බවත් පොලී නොවන පිරිවැය පිළිගත හැකි මට්ටමක පවත්වා ගෙන යාමට හැකිවූ බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  

මෙම මූල්‍ය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා පැවසුවේ බැංකුව විසින් වෙන්කර තිබෙන හානි පූරණ ගාස්තු වලින් සැලකිය යුතු කොටසක් විදේශ මුදල් වලින් තිබෙන රජයේ සුරැකුම්පත් වෙනුවෙන් වෙන්කර තිබෙන බවයි. ශ‍්‍රී ලංකාවේ ණය වර්ගීකරණය පහළ දමා තිබෙන අතර ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඉදිරියට රැගෙන යාම සඳහා රජය මේ වනවිට සාකච්ඡ කරමින් සිටී. මේ තත්ත්වය යටතේ මනතුංග මහතා පැවසුවේ බැංකුවේ ශේෂ පත‍්‍රය යළි තුලනය කිරීම පිළිබඳව බැංකුවේ අවධානය යොමුවූ බවයි. ඒ තුළින් ප‍්‍රාග්ධනය පදනම් කරගත් තීරණ ගැනීමේ, ප‍්‍රාග්ධනය බෙදාහැරීමේ සහ ඉහළ පරිපාලනයක් උදෙසා පද්ධති සහ ක‍්‍රියාවලීන් එක්තැන් කිරීමේ මෙන්ම ප‍්‍රමුඛතාවය පදනම් කරගත් පිරිවැය සඵල වර්ධන සංස්කෘතියක් නිර්මාණය වන බවත් ඔහු පැවසීය.  

සලකා බලන වසරේදී බැංකු සමූහයේ මෙහෙයුම් වියදම් 22.34% කින් රුපියල් බිලියන 36.282 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එයට පුද්ගල වියදම් වර්ධනය වීම, රුපියල අවප‍්‍රමාණය වීම, අනිකුත් මෙහෙයුම් වියදම් වර්ධනය වීම, වත්කම් නඩත්තු කිරීම සඳහා යන විදේශ මුදල් ගෙවීම් වැඩිවීම, අගය එකතු කිරීමේ බදු අනුපාත වර්ධනය වීම හේතුවී තිබේ. මේ අතර, සලකා බලන කාල සීමාව තුළදී බැංකු සමූහයේ මූල්‍ය සේවා මත බදු වලට පෙර මෙහෙයුම් ලාභය 26.73% කින් අඩුවී රුපියල් බිලියන 28.430 ක්වී තිබෙන අතර 2022 හතර වන කාර්තුවේදී 68.43% කින් අඩුවී රුපියල් බිලියන 2.881 ක්වී ඇත.

මේ අනුව, සලකා බලන මූල්‍ය වසර තුළදී බැංකු සමූහයේ බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 24.505 ක්වී තිබෙන අතර එය 2021 වසරට සාපේක්ෂව 25.65% ක පහළ යාමකි. සලකා බලන වසරේදී ශුද්ධ ලාභය 0.45% කින් රුපියල් බිලියන 24.399 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර 2022 හතරවන කාර්තුවේදී ශුද්ධ ලාභය 69.53% කින් වර්ධනය වී රුපියල් බිලියන 8.939 ක්වී තිබේ. කොමර්ෂල් බැංකුව වෙනම ගත්විට සලකා බලන වසරේදී බදු වලට පෙර ලාභය 29.38% කින් පහළ ගොස් රුපියල් බිලියන 22.598 ක්වී තිබෙන අතර බදු වලට පසු ලාභය 2.7% කින් වර්ධනය වී රුපියල් බිලියන 22.970 ක්වී ඇත. 2021 වසරේදී කොමර්ෂල් බැංකුව බදු වලට පසුව රුපියල් බිලියන 23.606 ක ලාභයක් වාර්තා කිරීමට සමත්විය.         

මේ අතර, බැංකුවේ අනිකුත් ප‍්‍රධාන මූල්‍ය දර්ශක බැලීමේදී පෙනී යන්නේ බැංකුවේ කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම 18.99% කින් වර්ධනය වී රුපියල් 164.30 ක්වී තිබෙන බවයි. එය 2021 වසරේදී රුපියල් 138.08 ක් විය. මේ අතර, 2022 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ පළමු පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය සහ සමස්ත ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය පිළිවෙලින් 11.389% ක් සහ 14.657% ක්වී තිබෙන අතර මෙම අනුපාත දෙකම ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවයන් වන 10% සහ 14% ප‍්‍රමාණයන්ට  වඩා ඉහළින් ඇත. එසේම, සලකා බලන මූල්‍ය වසර තුළදී බැංකුවේ පොලී අන්තරය 3.74% කින් වර්ධනය වී තිබෙන අතර එය 2021 වසරේදී 3.51% ක් විය. මෙම වසර තුළදී බැංකුවේ වත්කම් සඳහා ප‍්‍රතිලාභ (බදු වලට පෙර) අනුපාතය 1.03% ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය 12.46% ක්වී ඇත.  

Visits: 52