වසරේ මේ දක්වා මෙරට රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 4.9%කින් ඉහළ ගිහින්

2023 ජනවාරි 01 වැනිදා සිට මාර්තු 03 වැනිදා දක්වා කාල සීමාව තුළදී ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 4.9%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගියදා මහ බැංකුව විසින් නිකුත් කරන ලද Recent Economic Developments වාර්තාව තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ.

ඒ අනුව මෙය 2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 44.8%ක ප්‍රතිශතයකින් අවප්‍රමාණයවීම හා සැසඳීමේදී කැපී පෙනෙන අවස්ථාවකි. 2021 වසරේදී රුපියල ඩොලරයට සාපේක්ෂව 7%කින් අවප්‍රමාණය වී තිබුණි.

මේ අතර එක්සත් ජනපද ඩොලරයට අමතරව, බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් (5.6%), යූරෝ (5.4%), ජපාන යෙන් (8.0%) මෙන්ම ඉන්දියානු රුපියල් (4.4%) ලෙස රුපියලේ වටිනාකම් ඉහළ ගොස් තිබේ.

මේ අතර ඉදිරි සතියේ සිට නම්‍යශීලී විදේශ විනිමය අනුපාතයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා පවසා සිටියේය.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන නිර්දේශ අනුව එම කටයුතු සිදු කිරීම සැලසුම වී තිබේ.

මෙහි පළමු අවස්ථාව ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය පෙවරවාරි 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු විසින් විදේශ විනිමය අලෙවි කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීමක්ද සිදු විය. මීට පෙර 25%ක් ලෙස සටහන්ව තිබූ අතර, පසුව එය 15%ත් දක්වා අඩු කෙරිණි.

මේ අතර පසුගිය මාර්තු 03වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු අතර එක්සත් ජනපද සහ රුපියල් අතර ගනුදෙනුවේදී, එහි මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය (Middle SPOT exchange rate) රුපියල් 346.17ක් ලෙස සලකමින් රුපියල් 10ක අඩු හෝ වැඩි ලෙස විචලනය වන ආන්තිකයක් එක්පාර්ශ්වයකට හිමිවන බවද මහ බැංකුව සඳහන්කර තිබේ.

මීට පෙර මෙම ආන්තිකය රුපියල් 2.60ක් ලෙස සටහන්ව තිබූ අතර පසුව එය රුපියල් 5ක් දක්වා ඉහළ දැමීම සිදු විය.

මෙලෙස එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වෙළෙඳ පොළ තුළින් තම සංචිතය වෙත රැස්කරගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 308ක විදේශ විනිමය හේතු වූ බවත්මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

Visits: 62