“පොළී අනුපාත ඉහළ දැම්මේ IMF එකඟතාවටත් වඩා අඩු මට්ටමකින්” – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ දැම්මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මූලික සාකච්ඡාවලදී තීරණය කරන ලද මට්ටමට වඩා අඩු ප්‍රමාණයකින් බව මහ බැංකුව පවසයි.

ඊයේ දිනයේදී පැවැති මුදල් මණ්ඩලයේ සාකච්ඡාවකට අනුව ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් 1%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහ බැංකුව මේ පිළිබඳව සඳහන් කර සිටියි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ක්‍රියාත්මකවිම සඳහා අවශ්‍ය සියලුම පූර්ව ක්‍රියාමාර්ග සපුරාලීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මෙම ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ දැමීමක් සිදු කළ බවත් මහ බැංකුව පවසයි.

එසේම ඉහළ මට්ටමක පවතින උද්ධමනය සහ උද්ධමන පුරෝකතන මෙන්ම නුදුරුකාලීන ඉදිරි දැක්ම පිළිබඳව පවතින අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවල අඛණ්ඩව නිරත වූබවත් මහ බැංකුව පවසයි.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අතර උද්ධමන ඉදිරි දැක්ම පිළිබඳ දරණ මතයන්හි යම්වෙනස්කම් පැවතුණු බවත් මහ බැංකුව සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය, ප්‍රතිපත්ති පොළී අනුපාතිකය සහ ඉහළ මට්ටමක පවතින වෙළෙඳපොළී අනුපාතික අතර පරතරය අඩු කිරීමට උපකාරී වනු ඇතැයිද මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.

ඒ අනුව ඉදිරි කාලය තුළදී මිල පීඩනය ප්‍රමාණවත් පරිදි පාලනය වීමත් සමග පොළී අනුපාතික ව්‍යුහය සාමාන්‍යකරණය වනු ඇතැයිද මහ බැංකුවේ අදහස වී තිබේ.

මුදල් මණ්ඩලයේ මෙම තීරණයට අනුව නිත්‍ය තැන්පතු පොළී අනුපාතිකය 15.50%ක් දක්වාත්, නිත්‍ය ණය පොළී අනුපාතික 16.50%ක් දක්වාත්1%කින් ඉහළ නැංවීම සිදුවිය.

Visits: 178