රටවල් 5ක් සඳහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු 05 දෙනෙක් පත් කෙරේ

තෝරාගත් රටවල් 5ක් සඳහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරුන් 05 දෙනෙකු පත් කිරීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

එම පිරිස සඳහා අදාළ පත්වීම් ලිපි ප්‍රධානය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතින් ඊයේ දිනයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නංවමින් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ඉහල නැංවීම මෙම සන්නාම තානාපතිවරුන්ගේ කාර්යය භාරය වී තිබේ.

මෙලෙස පත් කෙරුණු සන්නාම තානාපතිවරුන් මෙම කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් වන අතර එම රටවල ආයෝජකයන් ව්‍යාපාරිකයන් අතර පිළිගැනීමට ලක් වුවන් බවත් එම රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් ශිවා සුබ්‍රමනියම්,  මැලේසියාව සදහා මෙහොමඩ් හිල්මි කරීම්  එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් තක්ෂිල ප්‍රේමසිරි දකුණු කොරියාවේ සන්නාම තානාපති ලෙස සංජීව සුරවීර  සහ මහා බ්‍රිතාන්‍ය සදහා කන්නයියා ගජන් යන මහත්වරු  මෙසේ පත්කර තිබේ.

මෙම සන්නාම තානාපතිවරුන්ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම රටවල ආයෝජන ප්‍රවර්ධනය සදහා අවස්ථාව ලැබෙන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග සෘජුවම කටයුතු කළ හැකි බවත් අමාක්‍යාංශය පවසයි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති රාජ්‍ය අමාත්‍යවරයා, රටක ආයෝජනයක් කිරීමට පෙර ඔනෑම ආයෝජකයෙක් ඒරටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව  පිළිබදව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ ඵලවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකු වත් මෙරට දිහා නොබලන බවත් පවසා තිබේ.

විශේෂයෙන්ම ඔනෑම ආයෝජකයෙකුට විශ්වාසනීයම හා පහසුම ආයෝජන ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත් කිරීමට සියළු පාර්ෂවයන් ඉක්මණින් කටයුතු කළ යුතු බවත්, යල්පැන ගිය වඩාත් වෙහෙසකර ක්‍රමවේදයන්ගෙන් බැහැරව ක්ෂණික, විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදයන් හදුන්වාදිය යුතු බවද අමුණුගම මහතා මෙහිදී අවධාරණය කර තිබේ..

මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.නයමුදීන්, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්.වීරකෝන් යන මහත්ම මහත්මීන් සහභාගි වී තිබේ.

Visits: 46