එක්සත් රාජධානියේ සුප්‍රසිද්ධ “The Coconut Tree” ආපනශාලා ජාලය මෙරට තුළ මෙහෙයුම් අරඹයි

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව තේමා කරගත් සම්මානලාභී “The Coconut Tree” ආපනශාලා ජාලය, පසුගිය පෙබරවාරි 17 දින සිට සිය සන්නාම ශ්‍රී ලංකාවේ දියත් කිරීමට කටයුතු කළ බව පවසා සිටියි.

සුළු පරිමාණයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපාරය මේ වනවිට පවුම් මිලියන ගණනක වටිනාකමකින් යුත් දැවැන්ත ව්‍යාපාරයක් බවට අද පත් වී තිබේ.

ඒ අනුව එක්සත් රාජධානියේදී අත්කරගත් දැවැන්ත සාර්ථකත්වයෙන් අනතුරුව, තම ව්‍යාපාරය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයේ කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවටද එය හඳුන්වා දීමට The Coconut Tree කළමනාකාරීත්වය තීරණය කර ඇත.

“The Coconut Tree” මෙරට දියත් කිරීමේ උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති අතර, එම අවස්තාව සදහා එම අයතනයේ නිර්මාතෘවරුන් සහ සත්කාරක සේවා ක්ෂේත්‍රයේ නියෝජිතායතන, සම්භාවනීය ආරාධිතයන මෙන්ම ආයෝජකයන් සහ මෙරට ආහාරපාන කර්මාන්තයේ ප්‍රවීණන් පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

මෙහිදී අදහස් දක්වා ඇති The Coconut Tree ප්‍රධාන මූල්‍ය නිලධාරී මිත්‍ර ප්‍රනාන්දු මහතා, “ආශාවක සහ විනෝදාංශයක ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍රය සහ බ්‍රිතාන්‍යයේ පබ් සම්ප්‍රදාය එක්කරමින් ආරම්භ කළ මේ ව්‍යාපාරය මේ වනවිට ජාත්‍යන්තර තලයේ දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම, එක්තරා ආකාරයට උපන් බිම වෙත නැවත පැමිණීමක් ලෙස හැඳින්වීමට පුළුවන්.” යනුවෙන් පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා, “අපේ දැනුමින් සහ සාර්ථකත්වයෙන් ප්‍රයෝජන ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීමට අපට අවශ්‍යයි. මේ සඳහා Ma’s Kitchen වැනි ශ්‍රී ලාංකික සන්නාමයන් මෙන්ම කුඩා පරිමාණ දේශීය කුළුබඩු සහ වෙනත් සැපයුම්කරුවන් සමග එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය ඔවුන්ට සෘජුවම එක්සත් රාජධානිය සමග සම්බන්ධ වීමටත්, අපනයනය තුළින් ආදායමක් ලබාගැනීමටත් ලැබෙන අගනා අවස්ථාවක්.”

මෙහිදී බ්‍රිතාන්‍යයේ සූපශාස්ත්‍රයෙන් පන්නරය ලැබූ අව්‍යාජ ශ්‍රී ලාංකික ආහාරපාන, ශ්‍රී ලංකාවෙන් ආභාෂය ලැබූ කොක්ටේල් වර්ග සහ බ්‍රිතාන්‍යයේ පබ් සම්ප්‍රදාය මැනැවින් මුසුකළ අපගේ සුප්‍රකට “Coconut Tree” අත්දැකීම මෙරට පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමට හැකි වීම සතුටක් බවද හෙතෙම පැවසීය.

The Coconut Tree යනු 300 කට අධික පිරිසක් සේවය කරන, පවුම් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපාරයකි. මෙම ශක්තියෙන් පන්නරය ලබමින්, දේශීය හා විදේශීය ආහාරපාන ලෝලීන්ට විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීමට තමන්ට හැකිවනු ඇති බව The Coconut Tree නිර්මාතෘවරු විශ්වාස කරති.

බලයලත් ව්‍යාපාර නියෝජිත ක්‍රමයකට මෙය මෙරට තුළ ස්ථාපිත කෙරෙන අතර, The Coconut Tree සමග එක්වෙමින් එහි ගෝලීය ව්‍යාප්තිය සමග අත්වැල් බැඳගැනීමට උනන්දුවක් දක්වන ආයෝජකයන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට සමාගමේ කළමනාකාරීත්වය මේ වනවිට පියවර ගනිමින් සිටී.

Visits: 140