අයිඩියල් මෝටර්ස් සමාගම දේශීයව නිෂ්පාදනය කළ ATV  රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බලකායේ ගොඩබිම හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ග වල භාවිතා කිරීමේ හැකියාව සහිත යුද කටයුතු සඳහා භාවිතා කළ හැකි ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ (Combat All Terrain Vehicle) රථ පෙළක් දේශීය තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදීම සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදන සහ එකලස් කරන සමාගමක් වන අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර (Mahindra and Mahindra) සමාගමේ තාක්ණිෂක දායකත්වයෙන් මෙම ATV රථ දේශීයව නිෂ්පාදනය කර ඇති අතර මේ සඳහා එන්ජිම, ගියර් පද්ධතිය සහ චැසි පද්ධතිය ඉන්දියාවේ මහින්ද්‍ර සමාගම මගින් ලබාගෙන ඇත.

අනිකුත් සියලුම යෙදවුම් සහ වාහන නිර්මාණය දේශීය ඉංජිනේරුවන් අතින් නිමවා සකස් කර ඇති අතර මෙම රථය ඕනෑම රළු මාර්ගයක ගමන් කළ හැකි බව පරීක්ෂණවල ධාවනවලින් තහවුරු වී ඇත.

ආරම්භයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බලකායේ අවශ්‍යතාව සඳහා මෙයින් රථ තුනක් නිෂ්පාදනය කර බාරදීම පසුගියදා සිදුවිය.

මෙම එක් වාහනයක් ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ නම් රුපියල් මිලියන  20 ක පමණ මුදලක් වැය වන අතර දේශීයව නිෂ්පාදනය කළ මෙම වාහනය රුපියල් මේල 8කට ආසන්න මුදලකට ලබා දිය හැකි බව අයිඩියල් මෝටර්ස් සමාගම සඳහන් කරයි. මෙම වාහන සඳහා වසර තුනක වගකීමක් අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලබා දෙන අතර ධාවනයේදී ඇතිවන කිසියම් ගැටලුකාරී තත්ත්වයන්ට පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා සේවයක්  අයිඩියල් මෝටර්ස් මගින් ක්‍රියාත්මක කරනු ඇත.

මෙම රථ විශේෂයෙන් වෙරළාශ්‍රිත ආවේක්ෂණ කටයුතු සහ ගොඩබිම් ආශ්‍රිත වනාන්තර යාබද ආවේක්ෂණ කටයුතු සඳහා නාවික හමුදාව භාවිත කිරීමට නියමිතය.

ඉදිරියේ දී ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන් වෙත අවශ්‍ය මෙවැනි විශේෂිත වාහන නිෂ්පාදනය කිරීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර මෙමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල විශේෂ වූ අවශ්‍යතාවන් පරිදි දේශීයව නිෂ්පාදනය කරන වාහන හඳුන්වාදීමට කටයුතු කරනු ඇත. එමගින් වර්තමාන අසීරු ආර්ථික අවස්ථා වලදී මෙවැනි වාහන ආනයනය කිරීමට වැය වන විදේශ විනිමය රට තුළ ආරක්ෂා කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර, දේශීය කර්මාන්ත නගා සිටුවීමටද ඉමහත් පිටිවහලක් වනු ඇත.

Visits: 125