ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් පසුගිය පෙබරවාරි 22 වැනිදා අත්සන් තැබුණු බව නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ දී මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුව තිබේ.

ඒ අනුව නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මැතිනිය සහ නෙදර්ලන්ත යටිතල පහසුකම් හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ වැඩ බලන සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්. වෑන් ෆාසන් මැතිතුමා විසින් මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

 මෙම ගිවිසුම හරහා දෙරට අතර පවතින සබඳතා මෙන්ම යුරෝපා සහ ආසියානු කලාප අතර පවතින සබඳතා ද තීව්‍ර කිරීම සඳහා ඉවහල් වන ශක්තිමත් වේදිකාවක් නිර්මාණය වනු ඇත.

දෙරටට අයත් නම් කළ ගුවන් සමාගම්වලට ඇම්ස්ටර්ඩෑම් සහ කටුනායක අතර පියාසර කිරීමටත්, සිය අදාළ ප්‍රදේශවලින් ඔබ්බට පියාසර කිරීමටත් මෙමඟින් අවස්ථාව සැලසෙන බවත් තානාපති කාර්යාලය පවසයි.

“මෙම ගිවිසුම මගින් විශ්‍රාන්ති කටයුතු සහ ව්‍යාපාරික සංචාර සඳහා පවතින මාර්ගද පුළුල් කෙරේ. තවද එමඟින් ව්‍යාපාරික අන්තර්ක්‍රියා වැඩි දියුණුවන අතර, භාණ්ඩ ප්‍රවාහනය සඳහා වේගවත් ක්‍රමවේදයක් ද නිර්මාණය වනු ඇත.“

එසේම ශ්‍රී ලංකාව යනු ඕලන්ද සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති ගමනාන්තයකි. 2022 වසරේ ඇතැම් කාලසීමාවන් තුළ පනවන ලද සංචරණ සීමා මධ්‍යයේ වුවද නෙදර්ලන්ත සංචාරකයන් 11,987දෙනෙකු මෙරට සංචාරයේ නිරත වී ඇත.

දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් පවත්නා අන්‍යෝන්‍ය රුචිකත්වය මෙම ගිවිසුම මඟින් පිළිබිඹු වේ. දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 70 ක් සපිරීමේ සංවත්සරය 2021 වසරේ දී සමරන ලදී.

2023 පෙබරවාරි 22 වැනි දින අත්සන් තබන ලද මෙම ගිවිසුම 1953 වසරේ ස්ථාපිත ගිවිසුම වෙනුවට ක්‍රියාත්මක වන අතර, ගිවිසුම පිළිබඳව ලිඛිතව දැනුම්දීමේ දිනයෙන් පසුව දෙවැනි මාසයේ පළමු දින සිට රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා එය බලාත්මක වේ.

Visits: 41