සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් සංචාරක කාඩ්පතක් (Travel Card) එළිදක්වයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය NDB බැංකුව හා එක්ව සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් සඳහා වන නව සංචාරක කාඩ්පතක් හඳුන්වාදීම ඊයේ දිනයේදී එම අධිකාරියේදී සිදුවිය.

මෙහිදී අදාළ කාඩ්පත නිකුත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමද එම අවස්ථාවේදී සිදුවී තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවාවන් සපයන පිරිස් වෙත සංචාරකයන් සමඟ ගනුදෙනු කිරීමේදී මෙම කාඩ්පත හරහා විශේෂ වරප්‍රසාද හිමිවන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

විශේෂයෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ගණනය කරගැනීම, ඔවුන් රැගෙන එන ඩොලර් සෘජුව බැංකුවක් සමග හුවමාරු වීම හා සංචාරකයන් හට සුරක්ෂිතව මෙම කාඩ්පත මගින් මෙරට තුළදී භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකිවීම වැනි ගුණාත්මක සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් වෙයි.

මෙම ගිවිසුම් ගතවීමේ අවස්ථාව සහ සංචාරක කාඩ්පත එළිදැක්වීමේ අවස්ථාව සඳහා සංචාරක සංවර්ධන අදිකරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, NDB ජේෂ්ඨ උප සභාපති සංජය පෙරේරා, උප සභාපති සෙයාන් හමීඩ්, සහකාර උප සභාපති කාඩ්පත් අශාන් වික්‍රමනායක හා NDB කොල්ලුපිටිය ශාකාවේ කළමනාකරු කුරේෂ් සප්පිඩීන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

Visits: 62