චීන සහාය නොමැතිවත් ශ්‍රී ලංකාවේ ණය පහසුකම අනුමත කිරීමට IMF අවධානය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලුම් කර ඇති විස්තීර්ණ ණය පහසුකම (Extended Fund Facility) සඳහා අවශ්‍ය වන චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකය ඇතුළු සහයෝගය නොමැතිව වුවත් එම ණය සහනය ලබාදීම සම්බන්ධයෙන් එම අරමුදලෙහි අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ජාත්‍යන්තර බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මගින් ඊයේ දිනයේදී මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ. මෙම ණය පහසුකම පිළිබඳ සාකච්ඡාවන්ට සම්බන්ධව සිටින පාර්ශ්වයන්ගෙන් ලැබුණු තොරතුරු අනුව එම වෙබ් අඩවිය මේ බව සඳහන් කර තිබේ.

අද වනවිට චීනයේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමිකරුවා ලෙස චීනය හඳුනාගෙන ඇති අතර, චීනය මෙතෙක් එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සහතිකය ලබාදී නැත.

වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉතාමත් කලාතුරකින් යොදා ගන්නා ප්‍රතිපත්තියක් මගින් මෙම අනුමැතිය ලබාදීම සැලසුම් කර තිබෙන බව පැවසෙයි.

මෙය Lending in to Official Arrears (LIOA) ලෙසින් හැඳින්වෙන අතර, මෙය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ විෂය පථය අනුව නිල ද්විපාර්ශ්වක ණයහිමිකරුවන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් සිදුකරන ඉල්ලිම් අනුව ඉදිරිපත් වන්නකි.

කෙසේ වෙතත් මෙම අදහස ප්‍රකාශ කරන පුද්ගලයන් කවුරුන්ද යන්න වෙබ් අඩවිය අනාවරණය කර නොමැති අතර, මෙම කාරණාව තවමත් ප්‍රසිද්ධියට පත් නොවූවක් වීම ඊට හේතුව වී තිබේ.

ඒ අනුව මෙම ක්‍රමවේදය මගින් ශ්‍රී ලංකාව වෙත අවශ්‍ය අරමුදල් සම්පාදනය කිසිදු ද්විපාර්ශ්වික ණයහිමිකරුවෙකුගේ බාධාවකින් තොරව ලබාදීම සැලසුම වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වී තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති විස්තීරණ ණය පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක අරමුදල් සම්පාදනයක් බලාපොරොතතුව සිටියි. එහෙත් එය සාර්ථකවිම හෝ අසාර්ථකවීම ශ්‍රී ලංකාවේ සියලුම ද්විපාර්ශ්වක ණයහිමිකරුවන්ගෙන් ලැබෙන සහතිකය අනුව තීරණය වෙයි.

Visits: 91