ඒබී සිකුරිටාස් සහ අමානා බැංකුව එක්ව බ්‍රවුන් ලේබල් ස්වයං සේවා යන්ත්‍ර සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ බැංකු හා මුල්‍ය ආයතන සතු ස්වයං සේවා මුදල් යන්ත්‍ර (SSD) සඳහා කළමනාකරණ සේවා සපයන ප්‍රමුඛතම ආයතනය වන ඒබී සිකුරිටාස් පෞද්ගලික සමාගමේ උපසමාගමක් වන ඒබී කෑෂ් මැනේජ්මන්ට් සර්විසස් සමාගම, ප්‍රමුඛතම දේශීය බැංකුවක් වන අමානා බැංකුව සමග එක්ව පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බ්‍රවුන් ලේබල් ස්වයං සේවා යන්ත්‍ර (Brown Label SSD) සංකල්පය හඳුන්වාදී තිබේ.

මෙම නව ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම අත්සන් කිරීම පසුගියදා අමානා බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදුවූ අතර ආයතන දෙකෙහි කළමණාකාර අධ්‍යක්‍ෂකවරුන් දෙපළ මේ සඳහා වූ  පස් අවුරුදු ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තබන ලදී.

මේ සම්බන්ධ නියමු ව්‍යාපෘතිය කන්තලේ,තෝප්පුර් නගරයේ සාර්ථකව දියත් කරන ලදී. 

ඒබී සිකුරිටාස් සමාගම විසින් දැනට සපයන මූල්‍ය යන්ත්‍ර කළමණාකාර හා නඩත්තු සේවාව තවදුරටත් පුළුල් කරමින්, සියලුම මූල්‍ය යන්ත්‍ර, සීසීටීවී හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික ආරක්ෂණ පද්ධති, ඒසී පද්ධතිය,අඛණ්ඩ විදුලි සැපයුම් පද්ධතිය හා ආරක්ෂක නිලධාරීන් යන ස්වයං සේවා බැංකුකරණය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර, උපාංග සහ සේවා සියල්ලම සපයමින් මෙම සේවාව දියත් කරන ලදී.

බ්‍රවුන් ලේබල් සංකල්පයේදී, පොදුවේ ස්වයං සේවා යන්ත්‍ර (Self Service Devices හෝ SSD) ලෙස හැඳින්වෙන අදාළ ATM/CRM සහ CDM යන්ත්‍ර වල අයිතිය සේවා සපයන ආයතනය සතුවන අතර අවශ්‍ය මුදල් සැපයීම සහ බැංකු අතර සම්බන්ධතාවය පමණක් අදාළ බැංකුව විසින් සිදුකෙරේ. අදාළ යන්ත්‍රය සහ පරිශ්‍රයේ  සන්නාමය බැංකුව සතුවේ. මුදල් පිරවීම් හා ආශ්‍රිත සියලු සේවා, යන්ත්‍රයේ පලමු පෙළ හා දෙවෙනි පෙළ ආදීවූ සියලු නඩත්තු කටයුතු, හදිසි බිඳවැටීම් ප්‍රතිෂ්ඨාපනය සහ උපාංග සැපයීම සහ නඩත්තුවද මෙහිදී ඒබී කෑශ් මැනේජ්මන්ට් සේවා සපයන ආයතනයෙහි වගකීමයි. 

බ්‍රවුන් ලේබල් ක්‍රමය යටතේ සියලුම සේවාවන් සැපයෙන බැවින් බැංකුවට සියලුම සේවාවන් කළමනාකරණයට එක් ඒජන්තවරයෙක් පමණක් සිටීම,යන්ත්‍ර හා උපාංගද ඇතුළත්ව සියලුම සේවා සඳහා මාසික ගාස්තුවක් පමණක් (OPEX) ගෙවන නිසා ප්‍රාග්ධන වියදමක් (CAPEX) නොමැතිවීමට අමතරව නඩත්තු හා කාර්යමණ්ඩල වියදම අවම වීම තුලින් බැංකුවට මහත්වූ ප්‍රතිලාභ ලැබෙනු ඇත. එසේම බැංකුවේ කාර්යමණ්ඩලයට තම ප්‍රධාන කර්තව්‍ය වන පාරිභෝගිකයින්ට බැංකු සේවා සැපයීම වඩා කාර්යක්ෂමව සිදුකළ හැකිවනු ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව සිය අදහස් දක්වමින් අමානා බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂක/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසීය. “බ්‍රවුන් ලේබල් සංකල්පය යටතේ අපගේ ස්වයං බැංකු මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සදහා ඒබී කෑශ් මැනේජ්මන්ට් සර්විසස් සහ ඒබී සෙකුරිටාස් සමාගම් සමග මෙම හවුල්කාරිත්වයට පැමිණීමට ලැබීම අපට මහත් ගෞරවයට කාරණාවක්. මේ තුළින් අපගේ ස්වයං සේවා බැංකු මධ්‍යස්ථාන අවට සිටින අපගේ පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සහතික කිරීමට අපට හැකියාව ලැබෙනවා. මේ තුළින් අපගේ ස්වයං බැංකු  මධ්‍යස්ථාන ජාලය රටේ දුරස්ථ ප්‍රදේශ  දක්වා ව්‍යාප්ත  කිරීමට අපිට හැකියාව ලැබෙනවා.”

අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉමිතියාස් ඉක්බාල් මහතාද මෙසේ සිය අදහස් දැක්වීය.”ඒබී කෑශ් මැනේජ්මන්ට් සහ ඒබී සිකුරිටාස් සමග ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය තුළින් අපගේ සහයෝගීතාවයේ ශක්තිය සහ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නංවන අතරම අපගේ ගනුදෙනුකරුවන්ට වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීමට අපට හැකියාව ලැබෙනවා.”

අත්සන් තැබීමේ උත්සවයේදී ඒබී සිකුරිටාස් ආයතනයේ අධ්‍යක්‍ෂක/ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික විංග් කමාන්ඩර් ප්‍රදීප් කන්නන්ගර මහතා මෙසේ පැවසීය. “අමානා බැංකුව සමග මෙම දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලැබීම ගැන අපි ඉමහත් සතුටට හා ගෞරවයට පත්වෙනවා. ඒබී සිකුරිටාස් ආයතනය ශ්‍රී ලංකාවේ ආරක්ෂණ සහ සමස්ත පාඩු වැලැක්වීමේ සේවා (Total Loss Prevention Services) සපයන්නන් අතරින් ප්‍රමුඛතමයා ලෙස නවීනතම විසදුම් සපයන සේවාව ලෙස පත්ව සිටින අතර,පැවති වසංගත තත්ත්වය හමුවේදී ද අඛණ්ඩව තම සේවා සපයමින් පාරිභෝගික ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කළා. අප මෙම බ්‍රවුන් ලේබල් සංකල්පය අඛණ්ඩව සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර එය ශ්‍රී ලංකාවේ සියලු බැංකු වෙත ගෙන යාමට බලපොරොත්තු වෙනවා.”

දශකයකට අධික කාලයක් පුරා  ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු සියල්ලටම පාහේ මුදල් ප්‍රවාහනය  සහ ATM කලමනාකරණ සේවා සපයන ඒබී සිකුරිටාස් ආයතනය ATMIA (ATM Industry Association) හා Currency Research (CR) – ICCOS යන ජාත්‍යන්තර සංවිධාන වල ක්‍රියාකාරී සාමාජිකත්වය දරමින්, ලොව ප්‍රධානතම මුදල් ප්‍රවාහනය හා ATM  කලමනාකරණ සේවා ආයතන හා නිරතුරුව සම්බන්ධව ලොව නවීනම ආරක්ෂක ක්‍රම විධි හා උපාංග භාවිතය ශ්‍රී ලංකාවට හදුන්වාදීමට නිරතුරුවම පෙරමුණ ගනී.

Visits: 48