Subway සිය ව්‍යාපාරය අලෙවි කිරීමට ගැනුම්කරුවෙකු සොයයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ලොව විශාලතම සබ්මැරීන් සහ සැන්ඩ්විච් අලෙවි සැල් ජාලය ලෙස සැලකෙන Subway සමාගමේ හිමිකරුවන් සිය ව්‍යාපාරය අලෙවි කිරිම සඳහා ගැනුම්කරුවෙකු සොයමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.

මෙහිදී එම සමාගම මෙම ගනුදෙනු සඳහා ඩොලර් බිලියන 10ක වටිනාකමක් නියම කර ඇතැයි මේ පිළිබඳව කරුණු අනාවරණය කරන එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසයි.

මෙම Subway සමාගම් ජාලයේ සම නිර්මාතෘවරයා වන පිටර් බක් පසුගිය වසරේදී මිය යාමෙන් අනතුරුව ව්‍යාපාරය අයත් ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙලෙස Subway ව්‍යාපාරික මෙහෙයුම් අලෙවි කිරීම සඳහා අදහස් කරගෙන සිටින බව සඳහන් වෙයි.

අද වනවිට ලොව පුරා රටවල් රැසකම මෙම Subway අලෙවි සැල් පිහිටුවා තිබෙන අතර, එය මැක්ඩොනල්ඩ්ස් අලෙවිසැල් වෙත තියුණු තරගයක් ලබාදෙමින් සිටියි.

විශේෂයෙන්ම වර්තමානයේදී ඉහළ යමින් පවතින පිරිවැය මෙලෙස හම ව්‍යාපාරයේ තිරසාරත්වය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අභියෝගයක් එල්ල කර තිබීම මෙලෙස Subway ව්‍යාපාරික මෙහෙයුම් අලෙවි කිරීමට තීරණයට හේතුව බවද පැවසෙයි.

1965 වසරේදී එක්සත් ජනපදයේ කනෙක්ටිකට්හි, බ්‍රිජ්පෝර්ට්හිදී ආරම්භ වූ මෙම Subway අලෙවි සැල් ජාලයේ නිර්මාතෘවරුන් වන්නේ ෆ්‍රෙඩ් ඩෙලුකා සහ පීටර් බක් යන දෙපළයි. මුලදී මෙම සමාගම Pete’s Super Submarines ලෙසින් හැඳින්වුණි.

1974 වසරේදී එම සමාගම ගෝලීයව සිය වරලත් සන්නාමකරණ අවස්ථාවන් සඳහා විවෘත කෙරුණු අතර, 2015 වසර වන විට ලොව වැඩිම වේගයකින් වර්ධනය වන වරලත් සන්නාමකරණ සමාගම බවටද එය පත් විය. ඒ අනුව 2021වන විට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක ස්ථාන 37,540ක subway අවන්හල් පිහිටුවා තිබේ.

Visits: 212