සංවර්ධන ව්‍යාපෘති රැසකට දායක වූ ජපානයේ මිට්සුබිෂි කෝපරේෂන් මෙරට මෙහෙයුම් අත්හැරීමට යයි

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරුණු යටිතල පහසුකම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසකටම දායක වූ ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සමූහයක් වන මිට්සුබිෂි සමාගම (Mitsubishi Corp.) සමාගම ලබන මාසයේදී මෙරට තුළ ව්‍යාපාරික මෙහෙයුම් අත්හැරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශික සබඳතා වල ප්‍රධාන හවුල්කරුවකු වූ මිට්සුබිෂි සමාගම වසර හැටකට ආසන්න කාලයක් මෙරට ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘති වල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සිය බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ ජපානය සමගින් එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු (LNG) ව්‍යාපෘතිය ඇතුළු නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිමත් සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන අහිතකර ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්මත් මෙලෙස මිට්සුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට හේතු වී තිබෙන බව සඳහන් වෙයි.

මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලය කොළඹ 01 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ, නැගෙනහිර කුලුණේ 24 වැනි මහලේ පිහිටා තිබේ. ඒ අනුව මෙම කාර්යාලය ලබන මාර්තු 31 වසා දැමීමට තීරණය කර ඇතැයි මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙලෙස එම සමාගම මෙරට තුළ මෙහෙයුම් අත්හැරීම ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික කටයුතු සම්බන්ධයෙන් බරපතල පසුබෑමකට ලක් කරනු ඇතැයි බොහෝ පිරිසකගේ අදහස වී තිබේ.

ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මස වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.46 ක මුදලක් ශ්‍රී ලංකාව ජපානයට ගෙවීමට තිබුණි.

මිට්සුබිෂි සමාගම එතෙර විවෘත කළ ප්‍රථම කාර්යාල වලින් ශ්‍රී ලංකාවේ කාර්යාලය එක් කාර්යාලයක් වූ බවත් ශ්‍රී ලංකා සමාගම් රාශියක ව්‍යාපාර සඳහා මිට්සුබිෂි සමාගම දායකත්වය ලබාදී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කිහිපයක මිට්සුබිෂි මෙහෙයුම් ප්‍රධාන හවුල්කරුවකු විය.

මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලයේ කාර්ය මණ්ඩලය විස්සක් පමණ වුවත් එම සමාගමේ ව්‍යාපාර සහ ව්‍යාපෘති අංශ රාශියකින් ශ්‍රී ලාංකිකයන් දහස් සංඛ්‍යාවකට ජීවනෝපාය සපයා ඇතැයිද පුවත් වාර්තා පවසයි.

Visits: 150