අබාන්ස් සමූහය මෙරටදී එකලස් කළ Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන අබාන්ස් සමූහයේ මූලිකත්වයෙන් මෙරටදී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපොලට හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිටි සෙන්ටර්හිදී අද දිනයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ.

මෙම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන් ජින් ජියොන්ග් (Santhush Woonjin JEONG), ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, අබාන්ස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් වන සරොෂි ඩුබාෂ් සහ රුසි පෙස්ටොන්ජී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිට ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති ජනපතිවරයා, රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බවට ඇති විශ්වාසය මෙවන් ආයෝජන තුළින් තහවුරු වන බව පවසා තිබේ.

“Hyundai Grand i10 වාහනය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විදෙස් රටවල් අප රට පිළිබඳ තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වෙනවා. මෙම අවස්ථාව දේශීය වශයෙන් රථ වාහන එකලස් කිරීමේ සහ වාහන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක්.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනපතිවරයා, “මෙම Hyundai Grand i10 මෙරට එකලස් කිරීම, පෙස්ටන්ජී මහත්මියගේ අධිෂ්ඨානයට උපහාරයක්. 1977 දී ආර්ථිකය විවෘත කළ විට ඇය මෙම ගමන ආරම්භ කළ ආකාරය මම දන්නවා. මට මතකයි එදා මම පස්වැනි පටුම‍ගෙන් ගාලු පාරට එන විට අබාන්ස් ප්‍රදර්ශනාගාරයක් තිබුණා. අද වන විට ඔබ එතනින් මේ තත්ත්වයට පැමිණ තිබෙනවා. ඔබ කළ දේට බොහෝම ස්තූතියි.” යනුවෙන් පවසා තිබේ.

Visits: 138