ශ්‍රී ලංකන් ගුවන් සේවය අප්‍රේල් සිට යළිත් චීනය බලා පියාසැරීම අරඹයි

චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගම 2023 අප්‍රේල් පළමු සතියේ දී චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා තුන් වතාවක් වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම්ව සිටියි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛතම වෙළඳපොළක් ලෙස චීනය හැදින්විය හැකි අතර කොවිඩ් වසංගතයට පෙර ශ්‍රීලංකන් හි ප්‍රමුඛතම විවේක සංචාරක ගමනාන්තක් ලෙස ද චීනය හඳුන්වා දිය හැක.

ශ්‍රීලංකන් නැවත මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ චීනයේ සිට නැවත සංචාරක කර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කරයි.

ශ්‍රීලංකන් 2023 අප්‍රේල් 3 වන දින ෂැංහයි වෙත මගී ගුවන් ගමන් දියත් කරනු ඇත. ඒ අනුව සෑම සඳුදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම කොළඹ සිට ෂැංහයි දක්වා ගුවන් ගමන් පිටත් වන අතර සෑම අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම පිළිවෙලින් ෂැංහයි සිට කොළඹ බලා පැමිණීමට සැලසුම් කර තිබේ.

කොළඹ සිට බීජිං දක්වා ගුවන් ගමන් ද 2023 අප්‍රේල් 3 වන දින ආරම්භ වන අතර සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල බීජිං බලා පිටත් වීමට නියමිතයි. කොළඹ බලා ආපසු එන ගුවන් ගමන් අදාල දිනවලට පසු දින සිදුවනු ඇත.

ශ්‍රීලංකන් දැනට කොළඹ සහ ගුවැන්ෂු අතර සතිපතා ගුවන් ගමනක් ක්‍රියාත්මක කරන අතර දෙවන ගුවන් ගමන 2023 මාර්තු 4 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තවද, ගුවැන්ෂු වෙත ශ්‍රීලංකන් 2023 අප්‍රේල් 4 වන දින සිට සතියකට ගුවන් මෙහෙයුම් තුනක් එනම් සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම කොළඹ සිට ක්‍රියාත්මක කරනු ඇත. ගුවැන්ෂු සිට කොළඹ දක්වා ආපසු ගුවන් ගමන් සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා ක්‍රියාත්මක වේ.

චීන සංචාරකයින් ගෝලීය සංචාරයේ අහිමි වූ කාලය පිරිමැසීමට උත්සුක වන අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය චීනයේ ජනප්‍රිය විවේක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදීම සඳහා දේශීය සංචාරක වෙළඳපළ සමඟ සමීපව කටයුතු කරනු ඇත.

විශේෂයෙන් සකස් කරන ලද නිවාඩු පැකේජ සහ ගනුදෙනු වලට අමතරව, ශ්‍රීලංකන් චීන පාරිභෝගිකයින්ට Alipay සහ WeChat Pay හරහා ගෙවීමේ පහසුව ලබා දෙයි. වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා පිවිසෙන්න www.srilankan.com

Visits: 41