ශ්‍රී ලංකාවේ IMF ණය පහසුකමට පැරිස් සමාජයේ ණය හිමිකරුවන්ගේ මූල්‍ය සහතිකය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉල්ලුම් කර ඇති විස්තීරණ ණය පහසුකම සඳහා වන මූල්‍ය සහතිකය ලබාදීමට තීරණය කළ බව පැරිස් සමාජයේ (Paris Club) ණය හිමිකරුවෝ සඳහන් කරති.

පසුගිය ජනවාරි 25 වැනිදා එම සමාජය මගින් හංගේරියාව, සෞදි අරාබිය, අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන ක්වේට අරමුදල සහ ඉන්දියාවේ නියෝජිතයන්ගේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සහභාගිත්වයෙන් පැවැත්වුණු පැරිස් සමාජයේ සාමාජිකයන්ගේ හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සාර්වආර්ථික ස්ථායිතාව යළිත් ඇති කිරීම සඳහා අවශ්‍ය කෙරෙන මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ විධායක මණ්ඩල අනුමැතිය ලැබී ඇති මූල්‍ය පහසුකම වෙත ලබා දෙන මූල්‍ය සහතිකය සුරක්ෂිත කිරීම සිදුකළ බව එම සමාජය පවසයි.

මෙහිදී එම සමාජයේ ණය හිමිකරුවන් මගින් ශ්‍රී ලංකාවේ පවතින සාර්වආර්ථික තත්ත්වය මෙන්ම මූල්‍ය තත්ත්වය පිළිබඳව විමර්ෂණය කළ බවත්, එහිදී ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරභාවය පිළිබඳවද කරුණු ඇතුළත් කෙරී ඇත. එසේම සියලුම ද්විපාර්ශ්වික ණයකරුවන් සතුව ඇති ණය සඳහා යම් ප්‍රතිව්‍යුහගත කිරිමක් සිදු කිරීම සම්බන්ධයෙන්ම වන අවශ්‍යතාව පිලිබඳවද අවධානය යොමු කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් එකඟතාවට පත් වන වසර දෙකක් පුරා ක්‍රියාත්මක කෙරෙන විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනක් යටතේ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ වී තිබේ.

ඒ සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පසුගිය වසරේ සැප්තැම්බර් 01 වැනිදා පිවිසීම සිදුවිය.

ශ්‍රී ලංකාවේ ණය හිමිකාරීත්වය සහිත ද්විපාර්ශ්වික ණයහිමිකරුවන් සහ පැරිස් සමාජයේ සාමාජිකයන් වන්නේ ජපානය, ප්‍රංශය, කොරියාව, ජර්මනිය, එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, රුසියාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, කැනඩාව, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, බෙල්ජියම, ඔස්ට්‍රේලියාව යන රාජ්‍යයන්ය.

එසේම මේ අතර සිටින පැරිස් සමාජයේ සාමාජිකයන් නොවන රාජ්‍යයන් වන්නේ චීනය, ඉන්දියාව, සෞදි අරාබිය,ක්වේටය, හංගේරියාව, ඉරානය, පාකිස්තාය සහ බංග්ලාදේශයයි.

පසුගියදා පැවැති මෙම සාකච්ඡාවේදී සෞදි අරාබිය, ක්වේටය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය පහසුකම සඳහා සිය සහයෝගය ලබාදීමට කැමැත්ත පළ කර ඇතැයි මෙහිදී අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ පැරිස් සමාජයේ නිල නිවේදනය – https://clubdeparis.org/en/communications/press-release/paris-club-creditors-provide-financing-assurances-to-support-the-imf-s

Visits: 68