මහ බැංකුව මෙරට බැංකු සතු වත්කම් තත්ත්වය පිළිබඳ ඇස්තමේන්තුවක් අරඹයි

මෙරට බැංකු සතුව ඇති වත්කම් සම්බන්ධයෙන් යම් ඇස්තමේන්තුවක් ලබා ගැනීම සඳහා වන විමර්ශන කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කර ඇතැයි එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් අධිපතිවරයා මේබව සඳහන් කර ඇත. මහ බැංකුව විසින් මෙය “වත්කම් තත්ත්වය විමර්ශනය” ලෙස නම් කෙරී තිබේ.

විශේෂයෙන්ම වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් සමගින්ම එය මෙම බැංකු සතු ශේෂ පත්‍රයන්හි කුමන අංශයක් වෙත බලපෑම් එල්ල වී තිබේද යන්න වටහා ගැනීම මෙම ඇස්තමේන්තුවේ අදහස වී තිබේ.

ඒ අනුව 2022 වසර තුළදී බැංකු සතුව ඇති අහිතකර ණය සහ අනෙකුත් මූල්‍යමය වත්කම්හි සිදුව ඇති අලාභයන් පිළිබඳව ඇස්තමේන්තුවක් ලබා ගැනීම මෙහි අදහස වී තිබේ.

එහිදී මූලිකවම ශ්‍රී ලංකා මහ බැංකුවෙහි උපදෙස් අනුව මෙම බැංකු විසින් සිය ණයකරුවන් වෙත ලබාදී තිබූ ණය පමා සහන කාලයත් මෙම වසර ආරම්භයේදී අවසන්වී තිබීමත් මේ සඳහා හේතුවක් වී ඇතැයි සඳහන් වෙයි.

අධිපතිවරයා පවසා ඇති ආකාරයට මෙරට බැංකු තවදුරටත් ස්ථාවරව සහ ප්‍රත්‍යස්තව සිය මෙහෙයුම් පවත්වාගෙන යන අතරතුරදීම, ඔවුන් සිය ඉතිහාසය තුළ මුහුණ දී ඇති අභියෝගාත්මක මෙහෙයුම් තත්ත්වයන් අත්විදිමින් සිටින බවත් පෙන්වා දී තිබේ.

එහිදී මූලිකවම අක්‍රිය ණය ඉහළ යාම සහ ප්‍රාග්ධන අවදානම් නිසා ඇති වන වර්ධනයේ සහ ලාභ ඉපැයීම් අඩුවීමේ තත්ත්වයක් දැකගත හැකිව ඇතැයි සඳහන් වෙයි.

“අපි මෙතැනදී ඉහළ යන අක්‍රිය ණය හේතුවෙන් එක් එක් බැංකු විසින් මුහුණ දිය හැකි අවදානම් සම්බන්ධයෙන් අවදානය යොමු කරනවා. ඒවගේම පොළී අනුපාත සහ විනිමය අනුපාතවල බලපෑමත් වගේම මෙම බැංකුවල ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව වෙතත් යම් පීඩනයක් එල්ල වෙනවාද කියන දේත් විමසා බලනවා.” යනුවෙන් අධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

මෙම විමර්ශනය හරහා බැංකු අනාගතයේදී මුහුණ දීමට යන ආතති තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අදහස වන බවත් මහ බැංකුවේ අදහස වී තබේ.

එසේම බැංකු සමගින් සිදු කරන කටයුතු පදනම් කරගනිමින්, තත්ත්වය පාලනය සඳහා කෙසේ කටයුතු කළ යුතුද යන්න සම්බන්ධයෙන් යම් නිර්දේශ ලබාදිය හැකි බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 98