2022 දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො. බිලියන 13 ඉක්මවයි, සේවා අපනයනයේ 5.9%ක අඩුවීමක්

මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය 2022 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 13,070.60ක් (බිලියන 13.07ක්) ලෙස සටහන්ව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව මෙය 2021 වසරේදී හිමිකරගත් වෙළෙඳ භාණ්ඩ අපනයනයේ වටිනාකම වූ ඩොලර් මිලියන 12,498.6 ට සාපේක්ෂව 4.6%ක ඉහළ යාමකි.

2022 වසර සඳහා වන සමස්ත අපනයන කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රතිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය මෙම කරුණු අනාවරණය කර සිටියි.

මෙහිදී මූලිකවම ඇගලුම් හා රෙදිපිළි අපනයනය 2022 වසරේ අපනයන ආදායම වෙත කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. එය ඩොලර් මිලියන 5,933.52ක් ලෙස සටහන්ව ඇත. එසේම තේ අපනයනය හරහා ලබා ගෙන ඇති ආදායම ඩොලර් මිලියන 1,258.81 කි. මීට අමතරව රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය හරහා ඩොලර් මිලියන 1,018.38ක ආදායමක් උපයා තිබේ.

මේ අතර පසුගිය වසරේදී වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයනය සිදු කර ඇති රට වන්නේ එක්සත් ජනපදයයි. එහිදී එරට වෙත ඩොලර් මිලියන 3,319.85ක් වටිනා භාණ්ඩ අපනයනය කර තිබේ. මෙය පෙර වසරේ අපනයනආදායම හා සැසඳීමේදී 8.18%ක වර්ධනයකි. එසේම එක්සත් රාජධානිය සහ ඉන්දියාව වෙත පිළිවෙලින් ඩොලර් මිලියන 966.04ක සහ ඩොලර් මිලියන 854.88ක වෙළෙඳ භාණ්ඩඅපනයනයක් සිදු කර ඇත.

මීට අමතරව 2022 වර්ෂය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,876.3 ක් ලෙස සටහන්ව ඇත. එය 2021 අනුරූප කාලසීමාවට සාපේක්ෂව 5.9% කින් අඩු වීමකි.

මෙහිදී ඇස්තමේන්තු ගත කර ඇති සේවා අපනයන, තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය, සේවා, ප්‍රවාහන සහ සැපයුම් යනාදියෙන් සමන්විත වන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

Visits: 71