ගෞතම් අදානි ඊශ්‍රායලයේ හයිෆා වරායේ මෙහෙයුම් නිල වශයෙන් භාරගනී

ඊශ්‍රායලයේ ප්‍රධානතම වරායක් වන හයිෆා වරායේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ අදානි සමූහයේ අදානි පෝර්ට් සමාගම වෙත නිල වශයෙන් පිරිනැමීම ඊයේ (31දා) හයිෆා නගරයේදී සිදු විය.

මෙහිදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඊට අදාළ එකඟතාව අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි වෙත පිරිනැමීම සිදු කර තිබේ.

අදානි සමූහය, ඊශ්‍රායලයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සහ ලොජිස්ටික් සේවා සම්පාදන සමාගමක් වන ගැඩොට් සමාගම හා එක්ව සිදුකරන ආයෝජනයක් ලෙස මෙම හයිෆා වරායේ මෙහෙයුම් භාරගැනීම සිදු කර තිබේ. මෙහිදී සිදු කර ඇති ආයෝජනය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.15 කි.

මෙහිදී අදහස් දක්වා ඇති ගෞතම් අදානි, සිය සමාගම මගින් හයිෆා වරායේ සමස්ත හැඩයම වෙනස් කරන බව පවසා තිබේ. “මෙතැනදී අදානි-ගැඩොට් හවුල්කාරීත්වය ආඩම්බරයට පත් වෙන ආයෝජනයක් සිදු කිරීම නෙමෙයි අපේ අරමුණ වෙන්නේ. මේ හරහා සමස්ත ඊශ්‍රායලයටම ආඩම්බරයක් ගෙන ඒම අරමුණයි.” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.

ඊශ්‍රායලයේ මෙම හයිෆා වරාය  එරට දෙවැනි විශාලතම වරායද වෙයි. එසේම එය මද්‍යධරණී මුහුදු කලාපය වෙත සම්බන්ධවීම සඳහා වන වැදගත්ම වරායක් ලෙසින්ද සැලකෙයි. විශේෂයෙන්ම භාණ්ඩප්‍රවාහන නෞකා මෙන්ම සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන නෞකාද මේ වෙත පැමිණෙයි. ඒ අනුව අදාන සමූහය විසින් සිදුකළ මෙම ආයෝජනය එම සමූහයේ අනාගත සංවර්ධනය වෙත වඩාත් වැදගත් අවස්ථාවක් වන බවත් විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය සතියේදී අදානි සමූහය වෙත එල්ල වූ වංචා චෝදනා සහ ඒ හේතුවෙන් එම සමූහයේ සමාගම්වල වත්කම් දරුණු ලෙස අහිමිවීමේ අවස්ථාවෙන් පසුව අදානි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාවද මෙයයි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී අදානි මේ කිසිවක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළැකීමට වගබලා ගත්තේය.

Visits: 92