සිලෝන් ටොබැකෝ රුපියල් 30ක ලාභාංශ නිවේදනයත් සමග කොටසක් 3.69%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම (CTC.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි.

ඊයේ දිනයේදී පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 30ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 වසර සඳහා ලබා දෙන සිවිවැනි අතරමැදි ලාභාංශ ගෙවීම වීමද විශේෂත්වයකි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස පෙබරවාරි 28 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස පෙබරවාරි 08 වැනිදා නම් කෙරී තිබේ.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙම 2022 වසරට අදාළව සමාගම මගින් ලබා දෙන ලාභාංශ අතරින් වැඩිම වටිනාකමක් සහිත ලාභාංශ ගෙවිම ලෙසද මෙය සැලකෙයි.

මීට පෙර එම සමාගම ලබාදුන් පළමු,දෙවැනි සහ තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම්වලදී පිළිවෙලින් රුපියල් 10ක්, රුපියල් 10ක් සහ රුපියල් 09ක් ලෙස ලාභාංශ ගෙවිම සිදුවිය.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 640.00ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූරුපියල් 617.25ට සාපේක්ෂව රුපියල් 22.75කින් එනම් 3.69%කින් ඉහළයාමකි.

Visits: 52