බ්ලූ ඕෂන් සභාපති සිවරාජා කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත දේපළ වෙළෙඳාම් සංවර්ධන සමාගමක් වන කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි (KDL.N0000) නව සභාපතිවරයා ලෙස බ්ලූ ඕෂන් සමාගම් සමූහයේ සභාපතිවරයා වන සිවරාජා තුමිලන් මහතා පත් කෙරුණු බව එම සමාගම පවසයි.

පසුගිය ජනවාරි 25 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදු කර තිබේ. මෙහිදී ඒ මහතා කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසද පත්වී තිබේ.

මෙතෙක් කලක් එම සමාගමෙහි සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ නාමල් ගොඩැල්ලවත්තගේ මහතා එම ධුරවලින් ඉවත් වීමෙන් අනතුරුව මෙම නව පත් කිරිම සිදුව තිබේ.

කෙසේ වෙතත් ගොඩැල්ලගේ මහතා තවදුරටත් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ඇතැයිද කෙල්සි ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

ජනශක්ති සමූහයට අයත්ව තිබූ කෙල්සි ඩිවලොප්මන්ට්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අත්පත් කරගැනීමට බ්ලූඕෂන් සමූහයට අයත් බ්ලූ ඕෂන් රෙසිඩෙන්සීස් පෞද්ගලික සමාගම පසුගියදා පියවර ගැනීමෙන් අනතුරුව මෙම තනතුරු වෙනස්වීම සිදුව තිබේ.

මෙම මිලදී ගැනීමේ පළමු අදියර යටතේ බ්ලූ ඕෂන් සමාගම් සමූහය පසුගිය වසරේ නොවැම්බර් 15 වැනිදා කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි 60%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගත්තේය. අනතුරුව ඉතිරි 40%ත් අත්පත් කරගැනීමට එම සමාගම පියවර ගෙන තිබුණි.

මේ අතර මෙතෙක් කලක් කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි ලිපිනය වූ අංක 02, ඩීල් පෙදෙස, කොළඹ 03 යන්න මින් ඉදිරියට අංක 9ඒ, ඩි ෆොන්සේකා පෙදෙස, බම්බලපිටිය, කොළඹ 04 ලෙස වෙනස් වන බවත් එම සමාගම සඳහන් කරයි.

මෙම අංක 9ඒ, ඩි ෆොන්සේකා පෙදෙස, බම්බලපිටිය, කොළඹ 04 ලිපිනය බ්ලූ ඕෂන් සමූහයේ ලියාපදිංචි ලිපිනයයි.

Visits: 93