ලංකෙම් සමූහයට අයත් ආගරපතන වැවිලි සමාගම CSE හි ලැයිස්තුගත කිරීමට යයි

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමූහයෙහි පරිපාලිත සමාගමක් වන ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම සඳහා සූදානමින් සිටින බව පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු කරන මූලික මහජන කොටස් නිකුතුවක් හරහා එම සමාගම මෙම ලැයිස්තුගත කිරීම සැලසුම් කර තිබේ.

මේ සඳහා ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා වන විශේෂිත මහා සභා රැස්වීමක් පසුගිය ජනවාරි 25වැනිදා පැවැත් වී තිබේ.

එහිදී මෙම ලැයිස්තුගත කිරීම සඳහා එම කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය හිමිව තිබේ.

කෙසේ වෙතත් මෙම ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි බලධාරීන්ගේ අනුමැතිය හිමිවීමට නියමිතව ඇතැයි ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙම ආගරපතන ප්ලාන්ටේෂන්ස් සමාගම මගින් සිය වතුයායන්හි කළු තේ වගාකිරීම, නිෂ්පාදනය සහ අලෙවි කිරීම සිදු කරයි.

ලංකෙම් සමූහයට අයත් කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමද (KOTA.N0000) කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැවිලි සමාගමක් ලෙස ගනුදෙනු සඳහා ඉදිරිපත් කර තිබේ.

Visits: 178