කොමර්ෂල් බැංකුව ඉන්දියානු රුපියල් ‘නොස්ට්‍රෝ’ (Nostro) ගිණුමක් විවෘත කරයි

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගණුදෙනු උදෙසා පහසුකම් සැලසීම සඳහා, වසර 116ක් ඉපැරැණි මුම්බායිහි පිහිටි ඉන්දීය බැංකුවේ ඉන්දියානු රුපියල් ‘නොස්ට්‍රෝ’ ගිණුමක් ආරම්භ කර ඇති බැව් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

සාර්ක් කලාපයේ වෙළෙඳාම සහ සංචාරක ප‍්‍රවර්ධනය සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින්  ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස වර්ගීකරණය කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බැව් කොමර්ෂල් බැංකුව පවසයි. ඉන්දියානු රුපියල්වලින් ‘නොස්ට්‍රෝ’ ගිණුමක් පිහිටුවීමෙන් දෙපාර්ශවයටම ප‍්‍රයෝජනවත් වන පරිදි, ශ‍්‍රී ලංකා සහ ඉන්දියානු ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ටද ඉන්දියානු රුපියල්වලින් වෙළෙඳ ගණුදෙනු කිරීමට හැකියාව ලබා දීමේ ප‍්‍රයත්නයන්ට බැංකුව මෙලෙස සහාය දක්වයි.

මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග මහතා මෙසේ පැවැසීය. ‘ශ‍්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන අභියෝගාත්මක පසුබිමක, වෙළෙඳාම සඳහා ඉන්දියානු රුපියල් පහසුවෙන් භාවිත කිරීමට ඇති හැකියාව නිසා, මෙහිදී කාලානුරූපීව වෙළෙඳාම් කටයුතුවල ඉහළ යෑමක් සිදුවනු ඇත. දේශීය අපනයන මෙන්ම ආනයන සඳහා විශාලතම මූල්‍ය පහසුකම් සපයන්නකු ලෙස කොමර්ෂල් බැංකුව මෙම ‘නොස්ට්‍රෝ’ ගිණුම හරහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හොඳින් ස්ථානගතවී තිබෙනවා’ යැයි ඔහු ප‍්‍රකාශ කළේය.

කොමර්ෂල් බැංකුව දැනට රටවල් 20ක පිහිටා ඇති ගනුදෙනුකාර බැංකු 30ක් සමග මුදල් වර්ග 15කින් ‘නොස්ට්‍රෝ’ ගිණුම් පවත්වාගෙන යන අතර, බැංකු ආයතනික ගණුදෙනුකරුවන් සඳහා ජාත්‍යන්තර වෙළෙඳාමට පහසුකම් සැලසීමට භූගෝලීය වශයෙන් පුළුල් වේදිකාවක්ද සපයයි.

Visits: 114